-ඇස්‌තමේන්තු ගත වාර්තා අනුව ශ්‍රී ලංකාව තුළ හඳුනා නොගත් ක්‍ෂය රෝගීන් 4000 ක් පමණ සිටින බව ඔවුන් හරහා එම රෝගය මෙරට ශීඝ්‍රයෙන් පැතිර යාමේ දැඩි අවදානමක් පවතින බවත් ක්‍ෂය රෝගය හා ළය රෝග මර්දනය පිළිබඳ ජාතික ව්‍යාපාරයේ නියෝජ්‍ය අධ්‍යක්‌ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. මේ අනුව ඉදිරි වසර පහක කාලය තුළදී මෙරට ක්‍ෂය රෝගය වැළඳුණු පුද්ගලයන් 50,000 කට පමණ ප්‍රතිකාර ලබාදීමට සිදුවන බවට අනුමාන කර ඇතැයි වෛද්‍ය සමරවීර මහතා පවසයි. මෙම පිරිසෙන් බහුතරය ආර්ථිකයට ඵලදායී අයුරින් දායක විය හැකි වයස්‌වල පසුවන්නන් වන අතර 2/3 ක්‌ම වයස අවුරුදු 15 ඉක්‌මවූ පිරිමින් වන බව ඔහු සඳහන් කරන ලදී.
පසුගිය වසර (2014) අවසන් වන විට මෙරට ජනගහනයෙන් ලක්‌ෂයකට ක්‍ෂය රෝගීන් 46.5 දෙනකු සිටින බව අනාවරණය වී තිබිණි. මෙම පිරිසෙන් හරි අඩක් පමණම සෙම පටල පරීක්‌ෂාවෙන් ක්‍ෂය රෝගය වැළඳී ඇති බව තහවුරු කර ගත් අයයි. මෙරට විසිර සිටින ක්‍ෂය රෝගය වැළඳුණු අයගෙන් බහුතරය එනම් සියයට 43 ක් බස්‌නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර, එයිනුත් සියයට 25 ක්‌ම කොළඹ දිස්‌ත්‍රික්‌කයෙන් වාර්තා වී තිබේ. කොළඹ දිස්‌ත්‍රික්‌කයෙත් වාර්තා වී ඇති එම ක්‍ෂය රෝගීන්ගෙන් සියයට 10 ක් කොළඹ නගර සභා බලප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.