“වෙලේ සුදා උදයන්තිට ලක්ෂය ගානේ ගෙවලා “

චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිලි උදයන්ති කුලතුංගගේ බැංකු ගිණුම් තහනම් කිරීමේ නියෝගයට අදාළව කොළඹ මහාධිකරණය ලබාදුන් නියෝගයේ පිටපතක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙයි.

සිය බැංකු ගිණුම් තහනම් කිරීමේ නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා උදයන්ති කුලතුංග විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම අද අධිකරණය හමුවේ සලකා බැලිණ.

මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස නම්දරා සිටින වෙලේසුදා සමග මූල්‍ය ගනුදෙනු සිදුකළ බවට ඇයට චෝදනා එල්ල වී තිබේ.

වෙලේසුදාගේ ජංගම දුරකථන පරික්ෂා කිරීමේදී මෙම තොරතුරු හෙළිව ඇති බව රහස් පොලීසිය අධිකරණයට දැනුම්දුන්නේය.

ඒ අනූව වෙලේසුදා විසින් උදයන්ති කුලතුංගට සිව්වතාවක් රුපියල් ලක්ෂය බැගින් දී ඇති බවත්, ඇයගේ උපන් දිනයක් වෙනුවෙන් රුපියල් 50,000ක ත්‍යාගයක් දී ඇති බවත් බැංකු ගිණුම් පරික්ෂාවේදී හෙළිව ඇති බව රහස් පොලීසිය පවසා ඇත.

එසේම උදයන්ති කුලතුංග විසින් රුපියල් ලක්ෂ 100ක තැන්පතුවක් ඇයගේ සහෝදරියකගේ ගිණුමට බැර කර ඇති බවද රහස් පොලීසිය අධිකරණයේදී හෙළි කළේය.

කෙසේ වුවද ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අදාළ චෝදනා ප්‍රතික්ෂේප කළේය.

කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ලබන මස 3 වැනිදා යළි නඩුව විභාගයට ගැනීමටත්, උදයන්ති කුලතුංගගේ බැංකු ගිණුම් තහනම් කරමින් කොළඹ මහාධිකරණය ලබාදුන් පිටපතක් එදිනට ඉදිරිපත් කරන ලෙසත් දැනුම්දී ඇත.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...