කැසිනෝවට මං විරුද්ධ නෑ -උඩුවේ හිමි

ලෝකයේ වෙනස්වීම්වලට අදාලව ශ‍්‍රී ලාංකිකයන්ද වෙනස් විය යුතු බැවින් මෙරට තුළ කැසිනෝ ආරම්භ කිරීම සම්බන්ධයෙන් කිසිදු විරුද්ධත්වයක් නැතැයි ජාතික හෙළ උරුමයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසිද්ධ ධර්ම දේශක උඩුවේ ධම්මිලෝක හිමියෝ පවසති.

‘රන්දිව’ පුවත්පත හා අදහස් දක්වමින් උන්වහන්සේ එබව සඳහන් කර ඇත.

ලෝකය හා එක්ව ගමන් කිරීමේදී ශ‍්‍රී ලාංකිකයන්ට හුදෙකලා ගමනක නිරත විය නොහැකි බව උන් වහන්සේ පෙන්වා දෙති.

එබැවින් ශ‍්‍රී ලාංකිකයන්ට සහභාගී වීමේ අවස්ථාව සම්පූර්ණයෙන් අහුරා කැසිනෝ රට තුළ ආරම්භ කිරීම සම්බන්ධයෙන් තමන් වහන්සේගේ කිසිදු විරුද්ධත්වයක් නැතැයිද උන් වහන්සේ පවසති.

සංචාරකයන්ගේ අභිමතාර්ථ ඉටුකිරීම තුලින් රටේ සංවර්ධනයක් අපේක්‍ෂා කරන්නේ නම් කැසිනෝ වැනි සංචාරක ව්‍යාපෘති රටට අවශ්‍ය බවද උන් වහන්සේ පෙන්වා දෙති.

”ඇත්තටම ඔය කැසිනෝ සම්බන්ධ පනතවත් ඊට අදාල කරුණු කාරණා පිළිබඳවත් මම තාම කියවලා නෑ. ඒ නිසා ඒ ගැන මට තාම ප‍්‍රබල හැදෑරීමක් කරන්න බැරි වුණා. එනිසා පනත සම්බන්ධයෙන් මට යමක් කීමට අපහසුයි.

නමුත් කිව යුතු කාරණා කිහිපයක් පිළිබඳව අවධානය යොමු කල යුතුයි. විශේෂයෙන් රටක් හැටියට අපි මේ කරුණ සම්බන්ධයෙන් ස්ථාවරයක පිහිටිය යුතුයි කියන මතයේ මම ඉන්නවා.

දැන් බලන්න සිංගප්පූරුව වගේ රටවල කැසිනෝ ව්‍යාප්ත වූ ආකාරය. අන්න ඒ නිසා මෙම කැසිනෝ සම්බන්ධ කරුණු ක‍්‍රියාත්මක විය යුත්තේ ශ‍්‍රී ලාංකිකයන්ට යාමට අපහසු වන පරිදි නීති සකස් කරලයි. අපේ රටේ මිනිස්සුන්ට යන්න බැරිවෙන්න යම් ප‍්‍රමිතිකරණයකට කැසිනෝ එනවා නම් එහි වරදක් නෑ. මොකද අපට විදේශිකයන්ට ඒ දේවල් තහනම් කරන්න බෑ. අනික සංචාරකයන්ගේ අභිමථාර්ත ඉටුකිරීම තුලින් මේ රටේ සංවර්ධනයක් අපේක්‍ෂා කරන්නේ නම් එවැනි දේ රටට අවශ්‍යයි. මොකද ලෝකෙ වෙනස් වන විට අපිට එක තැන ඉන්න බෑ. ඒ නිසා අපි ඒ අවශ්‍ය ආකාරයට හැඩ ගැසිය යුතුයි.

මගේ විරුද්ධත්වය තියෙන්නෙ මේ කැසිනෝ සඳහා ශ‍්‍රී ලාංකිකයන් යාම මතයි. බුදු දහමට අනුව එය අපට අනුමත කරන්න බෑ.

එනිසා පැහැදිලිව කිව යුතුයි කැසිනෝවලට මගේ විරුද්ධත්වයක් නෑ කියන කාරණය. හැබැයි ඒවා නියත වශයෙන්ම ශ‍්‍රී ලාංකිකයන්ට තහනම් විය යුතුයි” යයිද උන් වහන්සේ කියා සිටිති.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...