මාතලේ පොලිස් වසමේ කටුදෙණිය, වරාපිටිය අංක 30 දරණ ලිපිනයේ පිහිටා තිබෙන්නේ බන්නැහැක වලව්වයි. එනම් බන්නැහැක මුදියන්සේලාගේ වලව්වේ වරාපිටිය නම් වූ පෙළපත් නාමයට අයත් වසර දෙසීයකටත් වඩා ඉපැරණි බන්නැහැක වලව්වයි. එහි වහළයේ ඇති උළු කැටයක නිෂ්පාදිත දිනය ලෙස සඳහන්ව තිබෙන්නේ 1832 වර්ෂයයි. මේ වලව්වට අයත් මුළු ඉඩම් ප්‍රමාණය අක්කර හතරක් පමණකි. ගම්මිරිස්, කෝපි ආදී වගාවලින් යුතු වුවද ඒ වගාවන් නඩත්තු කළ බවක් පෙනෙන්නට නැත. එනම් එම ඉඩම බොහෝදුරට වල්වැදී ඇත.
මෙම වලව්වේ හිමිකරු වූ ඒ. බී. වරාපිටිය මීට වසර එකහමාරකට පමණ පෙර මිය ගොසිනි. ඔහුගේ මියයාමෙන් අනතුරුව ඔහු නමට තිබූ වලව්ව හා ඉඩම තවමත් බෙදා වෙන්කර නොමැති අතර එය පවතිනුයේ වරාපිටිය මහතාගේ බිරිය වන රම්‍යා චන්ද්‍රකාන්ති කොඩිතුවක්කුගේ නමට ය. මේ දෙපලට දරුවන් සිව්දෙනෙකි. වැඩිමල් පුත් කල්ප දනුෂ්ක මාතලේ මහ නගර සභාවේ මුරකරුවෙකි. දෙවැනි පුතා පෞද්ගලික ජංගම දුරකථන සමාගමක රැුකියාවේ නියුතු අතර ඔහු විවාහකය. දරුවකු ද සිටී. පදිංචිව සිටිනුයේ මේ වලව්වේම ය. තුන්වැනි පුතු කොරියාවේ රැුකියාවක නියුතු අතර පවුලේ බාලයා (බඩපිස්සී* චූලි ලලනී නදීෂාගේ වයස අවුරුදු විසිහතරකි.
ඇය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ බාහිර උපාධියක් හදාරමින් සිටින අතර බොහෝ දක්ෂතා ඇති සමාජයේ කැපී පෙනෙන අයුරින් ජීවත්වන චරිතවත් තරුණියකි. ක්‍රීඩා අංශයෙන් බොහෝ දක්ෂතා පෙන්වා ඇති ඇය ලබාගෙන තිබෙන කුසලාන හා පදක්කම් සංඛ්‍යාව බොහෝය. වර්තමානයේ ඇය මාතලේ පළාත් කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවක ද වන්නීය.
පවුලේ වැඩිමල් පුතු කල්ප විවාහ දිවියට එළැඹියේ පසුගිය විසිතුන්වැනිදා ය. ඔහුගේ අත ගත්තේ මාතලේ පොලිස් වසමේ කිරිගල්පොත්ත ප්‍රදේශයේ පදිංචි තරුණියකි. ඔහු, ඇයව පසුගිය විසිහතර වැනිදා බන්නැහැක වලව්වට කැන්දාගෙන ආවේ උත්සවශ්‍රීයෙන් දෑවැදි ද සමඟ ය. ඔහුගේ විවාහය වෙනුවෙන් එදින බන්නැහැක වලව්වේ ප්‍රිය සම්භාෂනයක් ද සූදානම් කර තිබිණි. සවස්වරුව එළැඹෙද්දී සාදයට එක්ව සිටි පුරුෂ පාර්ශ්වයේ බොහොදෙනකු පැවැති මධුසාදයට එක්ව වෙරිමතින් පසුවන්නට වූහ. මනාලියගේ පාර්ශ්වයේ ඥාතින් පිටත්වීමට මොහොතකට පෙර පැවැති උත්සව සභාවේදී එම වෙරිකාරයන් අතර ආරවුලක් හටගත්හ.
ඒ…. මත්පැන් මදිවීම හේතුවෙනි.
බාප්පලා, පුතාලා, මාමලා අතර ඇති වූ මෙම ගෝරිය දුරදිග නොගොස් සමථයකට පත්විය. මනාලියගේ ඥාතීහු පිටව ගියහ. නිවෙසේ ඉතිරිවූයේ මව රම්‍යා, දුව ලලනී, විවාහ වූ ලොකු පුතා, ඔහු කැඳවාගෙන ආ මනාලිය, දෙවැනි පුතා, ඔහුගේ බිරිය හා දරුවාත්, මවගේ අක්කා හා කල්පගේ හොඳම මිතුරකු පමණි. ඔහු ද නගර සභාවේ සුළු සේවකයෙකි. රාත්‍රිය උදාවෙද්දී මිතුරා සිහිවිකල්වන තරමටම මත්පැන් පානය කර සිටියේය.
ලලනි පසුවූයේ දැඩි වෙහෙසකර ගතියකිනි.
”නංගී…. ඔයා ගිහින් නිදාගන්න….” කල්ප අයියා නංගිට පැවසුවේය.
නංගි ලලනී නින්දට ගියාය. කල්පගේ මිතුරා නොකා නොබී ඔහේ වැටී සිටී. කල්ප ඔහුට බත් ටිකක් කැව්වේය අලූත බැඳපු ජෝඩුවට වලව්වේ ඉදිරිපස කාමරය වෙන්කර තිබුණු අතර ඊට සමාන්තරව පිහිටි කාමරයේ ලොකු අම්මාත්, දෙවැනි සහෝදරයාගේ බිරියත් දරුවාත් නිදන්නට ගියහ. මවත් දියණිය ලලනිත් නිදාගත්තේ සාලයට යාබදව ඇති නිදන කාමරයේ ඇඳන් දෙකක ය. ලලනිට ඇත්තේ කුඩා ඇඳකි. කල්පගේ මිතුරාත්, මල්ලිත් සාලයේ නිදන්නට වූ අතර කල්ප හා මනමාලිය වලව්වේ දොර ජනේල වසා නින්දට යනවිට වේලාව රාත්‍රී එකොළහ පමණ වී තිබිණි.
මව රම්‍යා චන්ද්‍රකාන්ති
හැට හැවිරිදි මව රෝගී තත්ත්වයෙන් පෙළෙන්නීය. බොහෝ අවස්ථාවලදී ඇයගේ එක් පාදයක දණහිසට ඉහළින් කෙණ්ඩා පෙරළේ. එම වේදනාව ඇයට දරාගන්නට අමාරු ය. ඇය එවැනි අවස්ථාවලදී වේදනාව දරාගත නොහැකිව කෑ ගසන්නීය.
”පාන්දර දෙකට විතර මගේ කකුලේ කෙණ්ඩ පෙරළුණා. මම අනේ….. අයියෝ…. අම්මේ…. මට බෑ….. කිය කියා කෑ ගැහුවා. මගේ සද්දෙට දුවට ඇහැරුණා. දුව මගේ ළඟට ඇවිත් කකුලේ සිද්ධාලේප ගාලා අතගෑවා. ටික වෙලාවක් අතගාද්දී මට අඩුවක් දැනුණා. ඊට පස්සේ මට මුත්‍රා බරක් දැනුණා. දුව මාව කුස්සිය පැත්තෙන් එළියේ තියෙන වැසිකිළියටත් එක්කගෙන ගියා. මට තනියම ඇවිදගෙන යන්න පුළුවන්කමක් තිබුණේ නෑ. මම දුවගේ කරට වාරුවෙලා නොණ්ඩි ගගහයි ගියේ. වැසිකිළියට ගිහින් මාව ගෙට එක්කගෙන ඇවිත් දුව අත්දෙක සෝදගත්තා. අපි දෙන්නා ආපහු කාමරේට ගිහින් නිදාගත්තා.”
”උදේ පහට විතර මට ඇහැරුණා. මම දුවට කතා කරගෙනමයි නැගිට්ටේ. අයියට වැඩට යන්න කෑම උයන්න ඕන නේද කියාගෙන මම දුවගේ ඇඳ දිහා බලද්දී දුව ඇදේ හිටියේ නෑ. මම එකපාරටම දැක්කා දුවගේ කොට්ටේ නැවිලා ලේ ගෑවිලා තියෙනවා. මම කෑ ගහගෙන සාලෙට ගිහින් ගෙදර අයට කිව්වා. පස්සේ ඉස්සරහ දොර අරිද්දී ඒක ලොක් කරලා තිබුණේ නෑ…” මව රම්‍යා පැවසුවා ය.
බන්නැහැක මුදියන්සේලාගේ වලව්වේ කල්ප දනුෂ්ක වරාපිටිය එනම් පවුලේ වැඩිමල් පුතු, අලූත විවාහ වූ මනමාලයා විසිපස් වැනිදා උදේ හයයි දහය වනවිට මාතලේ පොලිසියට දිවගියේ නැගණියගේ අතුරුදන්වීම පිළිබඳ පැමිණිල්ලක් කිරීමට ය.
”මම උදේ නිදාගෙන හිටියේ. පහයි කාලට විතර ගෙදර කලබලයක් වගේ ඇහුණා. පස්සේ බැලූවම අම්මා කිව්වා ඇක්ෂේ නිදාගෙන හිටපු නංගි නෑ කියලා. පස්සේ මායි, මල්ලියි මගේ යාළුවයි එකතුවෙලා නංගිව හෙව්වා. ඒත්…. මොනවත් හොයාගන්න බැරිවුණා. ආපහු ගෙදරට එද්දී අම්මා කිව්වා නංගි නිදාගත්ත ඇදේ කොට්ට දෙකේම ලේ තියෙනවා කියලා. ඒ ගැන පැමිණිල්ලක් කරන්නයි පොලිසියට ආවේ….”
කල්පගේ පැමිණිල්ල ලියාගන්නා අතරතුරේ පොලිස් කණ්ඩායමක් බන්නැහැක වලව්ව බලා ඒ මොහොතේම පිටත්ව ගියේය. පොලිසිය යනවිට ද කිහිපදෙනකු අතුරුදන් ලලනි සෙවීමේ නිරතව සිටි අතර පසුව ඇය සෙවීමේ මෙහෙයුමට පොලිසිය ද එක් විය. බන්නැහැක වලව්වට අයත් ඉඩමේ අඟලක් පාසා සෙව්වද ලලනි හමුවුණේ නැත. මේ වතු පිටුපසින් ගලා යන ඇළ පාරේ ඇඳ ඇතිරිල්ලක් වතුර ගලායන දෙසට ඇදී තිබෙනු දක්නට ලැබුණේ ඒ අතරය. එය පහළට ගසාගෙන යාම වැළැක්වීම සඳහා ගලක් බරට තබා තිබිණි.
ලලනි මරා දමා ඇති ආකාරය
බන්නැහැක වලව්වේ ඉඩම සෝදිසි කිරීමෙන් අනතුරුව අල්ලපු ඉඩම් සෝදිසි කිරීම ආරම්භ විය. ඇළ පාර දිගේ වලව්වේ සිට මීටර් එකසිය පනහක් පමණ ගිය විට උඩහට පඩිපෙළක් හමුවේ. එම පඩිපෙළට ඉහළින් පිහිටි වත්තේ ඇළේ සිට අඩි විස්සක් පමණ එපිටින් පිහිටි ගස් අතර ලලනිගේ නිරුවත් මළ සිරුර වැටී තිබෙනු මුලින්ම දුටුවේ පරීක්ෂණ සඳහා එක්ව සිටි පොලිස් කණ්ඩායමයි. ඇයගේ සිරුර ආසන්නයේ ඇය රාත්‍රී නින්දට යනවිට හැඳ සිටි කියුලට් සාය හා බ්ලවුසය දක්නට ලැබිණි. එය සෝදා වතුර මිරිකා දමා තිබිණි.
තවත් අහිංසක චරිතවත් තරුණියකගේ ජීවිතයේ අවසානය එලෙසින් සනිටුහන්වෙද්දී පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක්ම යොදවා අපරාධය සිදුකළ පුද්ගලයන් සෙවීමට මාතලේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා කටයුතු කළේය. ඒ සමඟම පොලිසිය එම ස්ථානයට මාතලේ මහෙස්ත්‍රාත් හා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ද දඹුල්ලේ නිල සුනඛයා ද කැඳවීය.
මහෙස්ත්‍රාත් නියෝගය අනුව ලලනිගේ සිරුර මාතලේ මහ රෝහලේ මෘත ශරීරාගාරයේදී පශ්චාත් මරණ පරීක්ෂණයට භාජනය කැරිණි. හිසට එල්ල වූ මොට ආයුධ පහරකින් සිදුවූ අභ්‍යන්තර රුධිර වහනයෙන් ලලනි මියගොස් ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවිය. එලෙසම ඇයගේ ලිංගික ප්‍රදේශයේ රුධිරය ගලාගිය කුඩා තුවාල කිහිපයක් දක්නට ලැබිණි. එම තුවාල අපරාධකරු විසින් කෝටු කැබැල්ලකින් ඇනීමෙන් සිදුකළ ඒවා බවටද නිගමනය විය. අපරාධකරු ඇය ¥ෂ්‍ය කර නොතිබුණ ද එවැන්නක් මවාපෑමට උත්සහ දරා තිබූ බවත්, නමුත්…. ඇයගේ කන්‍යාභාවයට ඉන් හානියක් සිදුවී නොතිබුණ බවත් හෙළිවිය.
මව සමඟ කාමරයේ නිදා සිටි ලලනි මරා නිවෙසින් පිටතට රැුගෙන ගියේ කවුද……?
කෙලෙසද…..? කුමන කරුණක් උදෙසාද…..? පරීක්ෂණ කණ්ඩායම් කළ මූලික පරීක්ෂණවලදී හෙළිකරගත් කරුණුවලට අනුව ඇදේ නිදාසිටි ලලනිගේ හිසට එල්ල වී ඇත්තේ මිටි පහරකි. ඉන් ඇයගේ හිසේ අභ්‍යන්තරයට හානි සිදුවී රුධිර වහනයක් සිදුව ඇත. එම රුධිරය සිරුරින් ස්වල්ප වශයෙන් ගලාගොස් තිබූ අතර එලෙස පිටව තිබුණේ කන් සිදුරුවලිනි. ඇය පාවිච්චි කළ කොට්ට දෙකේ ගෑවී තිබුණේ එලෙස කන්වලින් ගලාගිය රුධිරයයි.
ඇය නිවෙසින් පිටතට රැුගෙන ගොස් ඇත්තේ ඇයගේ ඇදේ තිබූ ඇයගේ පොරවන ඇතිරිල්ලේ ඔතාගෙනය. ඒ හේතුවෙන් ඇයගේ හිසෙන් හෝ කන්වලින් ගලාගිය රුධිරය බිමට වැටී නැත.
එහෙත්… ඉදිරිපස දොර අසල එක් ලේ බිංදුවක් දක්නට ලැබිණි. එනම් ඇයගේ සිරුර රැුගෙන ගොස් ඇත්තේ ඉදිරිපස දොරෙනි. එතැනට යා යුත්තේ සාලය හරහා ය. සාලයේ දෙවැනි අයියාත්, ලොකු අයියාගේ මිතුරාත් නිදාගෙන සිටියහ. එම කොටස පසුකළ විට ඉදිරිපස කාමර දෙක හමුවේ. ඉන් එක් කාමරයක අලූත බැඳපු යුවළත්, අනිත් කාමරයේ සාලයේ සිටි අයියාගේ බිරියත් ලොකු අම්මාත් නිදාසිටියහ.
ලලනි මරා සාලය හරහා ඉදිරිපස දොර වෙත රැුගෙන ගොස් එම දොර විවෘත කොට සිරුර එළියට රැුගෙන යනතුරුම මේ කිසිම කෙනකු නින්දෙන් පිබිදුණේ නැත්තේ කුමන හේතුවක් නිසා ද………?
”? එළියට ගිහින් ඇවිත් ඇඳට වැටුණට පස්සේ මට යකා ගැහුවා වගේ නින්ද ගියා. වෙනදට නම් දුව ඇදේ දැඟලූවත් මට ඇහැරෙනවා. ඒත්…. එදා මෙච්චර දෙයක් වෙලත් මට යාන්තමටවත් ඇහැරුණේ නෑ.” මව පැවසුවාය.
ඇය පාන්දර යාමයේ දියණිය හා එළියට ගොස් පැමිණි පසු වතුරවත් පානය කර නැත. ඇය වතුර පානය කළා නම් අපරාධකරු එම වතුරවලට නිදිපෙති හෝ වෙනත් රසායනිකයක් යොදා තිබීම හේතුවෙන් ඇයට එලෙස තදින් නින්ද යන්නට ඇතැයි නිගමනය කළ හැකි වුවද එවැන්නක් සිදුව නැත. නොඑසේ නම් අපරාධකරු මේ නිවෙසේ නිදා සිටි සියල්ලන්ටම සිහිනැති වන යම් රසායනිකයක් මුහුණට අල්ලා තිබිය යුතුය. එහෙත් එවැන්නක්ද පරීක්ෂණවලදී සනාථ වී නැත.
පොලිසිය සැක කරන පරිදි ලලනිගේ සිරුර ඔසවාගෙන ගිය අපරාධකරු හෝ අපරාධකරුවන් එය වත්ත පිටුපස ඇළ අසලට ගෙනගොස් ඉන් අනතුරුව ඇළට දමා වතුරේ ඇදගෙන ගොස් තිබේ. එම ඇළට වතුර සපයන ගංගාව එම ස්ථානයේ සිට මීටර් දෙසීයක් පමණ එපිටින් පිහිටා ඇති අතර ලලනිගේ සිරුර ගඟට දැමීම සඳහා ගඟ අසලට රැුගෙන ගොස් තිබෙන බවක් දක්නට ඇත. එලෙස සැක කරන්නේ සිමෙන්ති බැමි යොදා ඉදිකර තිබෙන ඇළ මාර්ගයේ ගඟ අසල ස්ථානයේ ලේ තැවරී තිබී හමුවූ බැවිනි. ඒ අනුව පොලිසියේ අදහස වන්නේ සිරුර ගඟට දැමීමට රැුගෙන ගියද එදින ගගෙහි ජලය නොතිබුණ බැවින් හෝ වෙනත් කරුණක් හේතුවෙන් යළි ඇළ මාර්ගය අසලට රැුගෙනවිත් ඇති බවයි.
සිරුර ඇළට දමා ඇදගෙන යන්නට ඇත්තේ ඔසවාගෙන යාම අපහසු නිසා විය හැකියි. එලෙසම අපරාධකරු තමාගේ අනන්‍යතාව වසන්කිරීමේ අරමුණ ඇතිව මළ සිරුර සෝදා, ඇය හැඳ සිටි ඇඳුම් ද සෝදා ලලනිගේ සිරුරේ තැවරී තිබූ අපරාධකරුගේ දහඩිය, ලෝම ආදිය ඉවත් කිරීමට උත්සාහ කර ඇතත් ඇයගේ සිරුරේ තැවරී තිබී අපරාධකරුගේ ලෝම ගස් කිහිපයක් සොයාගැනීමට පොලිසියට හැකිවී ඇත.
ලලනිගේ නමට ඇති දේපල අයිතිකර ගැනීම උදෙසා ඇය මෙලෙස ඝාතනය කරන්නට ඇති බවට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුවද ලලනිගේ මව ඒ බව තරයේ ප්‍රතික්ෂේප කරන්නීය.
”අක්කර හැටක් තියෙනවා කියලා පත්තරවල තියෙන එක අමූලික බොරුවක්. අපිට අක්කර හතරයි තියෙන්නේ. ඒවත් තවම මගේ නමට තියෙන්නේ. මම ඒවා ළමයින්ට බෙදලා නෑ. ඒ නිසා දරුවා මැරුවා කියලා කාටවත් මේවා අයිතිවෙන්නේ නෑ.” මව රම්‍යා පවසන්නීය.
පරීක්ෂණ කණ්ඩායම් පවසන පරිදි ලලනිගේ ඝාතනය තවමත් අබිරහසකි. සිද්ධිය වන අවස්ථාවේ නිවෙසේ සිටියේ පවුලේ අයත් වැඩිමල් අයියාගේ හොඳම මිතුරාත් පමණි. නිවෙසේ දොර ජනේල කිසිවක් කඩා දමා පිටතින් කිසිවකු ඇතුළු වූ බවක් ද පෙනෙන්ට නැත. පිටතින් කිසිවකු පැමිණියා නම් දොර හැර දී තිබෙන්නේ නිවෙස තුළ සිටි අයකු විය යුතුය.
එය එසේ නම් දොර හැරදුන්නේ කවුද……..?
එලෙස පිටතින් කිසිවකු නොපැමිණියේ නම් මේ අපරාධය කළේ කවුද…………….?
මෙතරම් අපරාධයක් වනතුරු ලලනි නිදාසිටි කාමරයේ අනෙක් ඇදේ සිටි මවවත් ඇහැරුනේ නැත්තේ මන්ද………?
පරීක්ෂණ කණ්ඩායම්වල වැඩි සැකය එල්ල වී ඇත්තේ රාත්‍රියේ එම නිවෙස තුළ නිදාසිටි පිරිස වෙතය. පොලිසිය එම හත්දෙනාගෙන් එක් එක් අය කැඳවා වෙන වෙනම ප්‍රශ්න කොට කටඋත්තර ලබාගත්තද තවමත් ලලනිගේ ඝාතකයන් පිළිබඳ නිවැරදි හෝඩුවාවක් ලැබී තිබුණේ නැත.
තක්ෂිලා ජයසේකර ඡුායාරූප – ප්‍රියන්ත සුමනසේන උකුවෙල සංචාරක