හම්බන්තොට වරාය හා මත්තල ගුවන් තොට හැදුවේ ලංකාවට කුඩු ගේන්නයි

ශ‍්‍රි ලංකාව කේන්ද්‍ර කරගත් මත්කුඩු ජාවාරම ක‍්‍රියාත්මක වන්නේ මත්තල ගුවන් තොටුපල හා හම්බන්තොට වරාය හරහා යයි එජාප නායක සහ විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ගාල්ල ප‍්‍රදේශයේ පැවති රැස්වීමකදී ඒ මහතා කියා සිටියේ නැව් නොමැති වරායට හා ගුවන් යානා නොමැති ගුවන් තොටුපොළට මත් කුඩු ප්‍රවාහනය කිරීමේ රාජකාරිය පවරා තිබෙන බවයි.

විපක්‍ෂ නායකවරයා එහිදී මෙමේද කීය.

‘එල්.ටී.ටී.ඊ. සංවිධානය සතුව තිබූ සියලූම නැව් ශ්‍රී ලංකා ආණ්ඩුව ගෙන්වා ගන්නා බව කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා එදා කියා සිටියා. නමුත් ඒ නැව් අපට ලැබුණේ නැහැ. මේ මත් කුඩු බෙදා හරින එල්.ටී.ටී.ඊ. ජාලය තිබෙන්නේ ඒ නැව් තිබෙන අය සමගයි. ඒ ජාලය සමග ශ්‍රී ලංකාවේ යමෙකු සම්බන්ධ වී සිටිනවාද? අපට ඒ ජාලය සමග සම්බන්ධයක් තිබෙනවාද? එක්සත් ජාතික පක්‍ෂයට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී ලේබලය අලවන්නේ මේ කරුණු කාරණා වසා ගැනීම සඳහා ද? මේ ජාලය පාලනය කරන්නේ කවුරුන්ද?

කොළඹ සහ රත්මලාන ගුවන් තොටුපොළ අවට සියලූ දෙනාම අවධානයෙන් සිටින නිසාත්, ඉන්දියාව සහ පාකිස්ථානය මේ ගැන බලාගෙන සිටින නිසාත්, හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපොළ මගින් මත් කුඩු ප්‍රවාහනය කිරීමට මේ අය තීරණය කර තිබෙනවා. ඒ කියන්නේ නැව් නොමැති වරායට මත් කුඩු ප්‍රවාහනය කිරීමේ රාජකාරිය පවරලා…. ගුවන් යානා නොමැති ගුවන් තොටුපොළට ද ඒ රාජකාරියම පවරා තිබෙනවා. එහෙම බැලූවාම මත් කුඩු රැගත් ගුවන් යානා දෙකක් සතියකට ආවත් හොඳමට ඇති…. මේ අනුව මාගම්පුර කුඩු පුරයක් බවට පත් වෙලා.

මේ මත් කුඩු ජාවාරම වසා දැමීමට ක්‍රියා කරන්නේ ඇයි? තංගල්ලේ සභාපති සොයා ගැනීමට නොහැකි අය කුඩු ගෙන්වන අය සොයා ගන්නේ කෙසේද? මේ කුඩු ජාවාරම කරන්නේ කවුරුන්ද? මේ පරීක්‍ෂණය අගමැතිතුමාගෙන් අවසන් වනවාද? එතැනින් එහාට මේ පරීක්‍ෂණ කටයුතු යනවාද?

කුඩු ජාවාරම රටට විශාල තර්ජනයක් බවට පත් වෙලා. තරුණ තරුණියන්ව මත් කුඩුවලට ඇබ්බැහි කරනවා කියන්නේ ඒ අයගේ අනාගතය විනාශ කිරීමයි. ත්‍රස්තවාදී බෝම්බයෙන් සහ වෙඩි උණ්ඩයෙන් සියලූ දෙනාම විනාශ කිරීමට නොහැකි වුණාට මත් කුඩුවලින් සමස්ත ජාතියම විනාශයට පත් වෙනවා.

වෙළෙඳපොළට ගොස් කිරි පැකට්ටුවක් මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබුණත් කුඩු පැකට්ටුවක් නම් ඉතා පහසුවෙන් සොයා ගත හැකියි. කිරි පැකට් ආදිය නම් රට පුරා බෙදා හරින්නේ ඒ සමාගම් පත් කළ නියෝජිතයිනුයි. නමුත් මේ කුඩු පැකට් බොහෝ විට බෙදා හරින්නේ පොලිසියෙන්ම බව කණගාටුවෙන් වුවත් කියන්න සිදු වෙනවා. මේ මත් කුඩු තර්ජනය තව අවුරුදු කිහිපයක් පැවතුණොත් මුළු රටත් – ජනතාවත් සම්පූර්ණයෙන්ම විනාශයට පත්වන බව කිව යුතුයි. මේ මත් කුඩු ජාවාරමට ආණ්ඩුවේ දේශපාලකයින්, ආණ්ඩුවට සම්බන්ධ අය සහ මහජන නියෝජිතයින් සම්බන්ධ වී සිටින බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මේ මත් කුඩු බෙදා හැරීම පාලනය කිරීමට ආණ්ඩුවට නොහැකි ඇයි? මත් කුඩු ව්‍යාපාරය සමග ආණ්ඩුවට තිබෙන සම්බන්ධය කුමක්ද? මැලේසියාව, සිංගප්පූරුව සහ ඉන්දියාව ආදී රටවල ස්ථාවරය වී තිබෙන්නේ දකුණු ආසියාවට, අග්නි දිග ආසියාවට සහ මැදපෙරදිගට මත් කුඩු බෙදන මධ්‍යස්ථානය බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙන බවයි.

ඉන්දීය පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මත් කුඩු තොගයක් සමග තිදෙනෙකු මීට දින කිහිපයකට පෙර එරට දී අත්අඩංගුවට ගනු ලැබුවා. ඇෆ්ගනිස්ථානයෙන් මත් කුඩු පාකිස්ථානයට ගෙන්වා එරටින් ඉන්දියාවේ පන්ජාබ් නුවරට ප්‍රවාහනය කර, එතැනින් උතුරු ඉන්දියාව හරහා දකුණු ඉන්දියාවට ද, දකුණු ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට යවා එතැනින් බෙදා හරින බව ඉන්දීය නියෝජ්‍ය පොලිස් කොමසාරිස් සංජීව කුමා යදේව ඉන්දියාවේ ප්‍රධානතම ඉංග්‍රීසි පුවත්පත වන ‘Deccan Chronicle’ පුවත්පතට ප්‍රකාශ කර තිබෙනවා. ඇෆ්ගනිස්ථානයේ කණ්ඩායමක් මත් කුඩු නිෂ්පාදනය පාලනය කරන අතර කුවේටයේ සිටින පුද්ගලයෙකු බෙදා හැරීමේ කටයුතු සිදු කරන බව ද එම පුවත්පත පැහැදිලිව වාර්තා කර තිබෙනවා.

ඉන්දියාවේ, පාකිස්ථානයේ සහ ශ්‍රී ලංකාවේ කණ්ඩායමක් මේ මත් කුඩු ව්‍යාපාරයට සම්බන්ධව සිටින බව ඉන්දියාවේ ‘The Times of India පුවත්පත වාර්තා කර තිබෙනවා. ශ්‍රී ලංකාවෙන් මේ මත් කුඩු ව්‍යපාරයට සම්බන්ධ වී සිටින පුරවැසියා කවුද?

ඉන්දීය පොලිසිය මේ මත් කුඩු ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු සොයා බලමින් සිටින අතර එරට පොලිසියට කිසිවෙකු බලපෑම් කරන්නේ නැහැ. ශ්‍රී ලංකාවෙන් මේ වැඩ කටයුතු සඳහා කිසිඳු සහයෝගයක් නොලැබෙන බව ඉන්දීය පොලිසිය කියනවා. පාකිස්ථාන පොලිසිය ද මේ මත් කුඩු ජාවාරම සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදු කරමින් සිටින අතර එරට පොලිසිය කියා සිටින්නේ ද ශ්‍රී ලංකාව මේ ජාවාරමට අදාළ තොරතුරු ලබා දී නොමැති බවයි. සෑම අවස්ථාවකදීම එදිරිවාදීව කටයුතු කරන ඉන්දියාවේ සහ පාකිස්ථානයේ පොලිසි මේ මත් කුඩු ජාවාරම අල්ලා ගැනීම සඳහා එකට එක්ව වැඩ කරනවා. අග්නිදිග ආසියාව, මැලේසියාව සහ තායිලන්තය සමග මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් කුවේට් රජය කරුණු සාකච්ඡා කරමින් සිටිනවා. නමුත් ආසියාවේ ආශ්චර්යය මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ලෝකයේ කිසිඳු රටක් සමග සාකච්ඡා කරමින් එකට එක්ව ඊට එරෙහිව වැඩ කරන්නේ නැහැ.

– එජාප මාධ්‍ය ඒකකයෙනි

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...