එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී තමා මත්පැන් පානය කර පැමිණි බවට චෝදනා කරන ජෝන් අමරතුංග වැනි පක්‍ෂයේ සිටින දෙපැත්ත කන එවුන්ට තමාට පෙර විනය පරීක්‍ෂණ පැවැත්විය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත තෙවරප්පෙරුම මහතා අවධාරණය කළේය.
ඔහු දෙපැත්ත කන එකෙක් නොවේ නම් ජනාධිපතිවරයා සමඟ එක්වී රට සවාරි ගොස් නොපැමිණෙන බව පවසන තෙවරප්පෙරුම මහතා දැඩිව ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්‍ෂයේ සිටින පිරිමින්ට පමණක් විනය පරීක්‍ෂණ පවත්වනවා මිසක් පක්‍ෂයේ සිටින දෙපැත්ත කන එවුන්ට අද වන විටත් කිසිදු පරීක්‍ෂණයක්, විනය විරෝධී චෝදනාවක් එල්ල නොවන බවත්ය. හෙතෙම මෙම අදහස් පැවැසුවේ පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී තෙවරප්පෙරුම මහතා සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඇති කරගනු ලැබූ උණුසුම්කාරී තත්ත්වයේදී ඒ වන විට තේවරප්පෙරුම මහතා බීමතින් සිටි බවට ජෝන් අමරතුංග මහතා විසින් මාධ්‍යවල පවසා තිබූ ප්‍රකාශයන් සම්බන්ධයෙන් “මව්බිම” කළ විමසීමකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රිවරයා මෙසේද චෝදනා නැඟීය.
මම උදේ 9ට විතර පාර්ලිමේන්තුවට ආවේ. ඒ ඇවිල්ලා මම පුස්තකාලයේ පොත් බලලා, පත්තර කියවලා තමයි රැස්වීම ඇතුළට ගියේ. පාර්ලිමේන්තුවට නිකන් ටොයිලට් එකට යනවා වගේ යන්න බැහැනේ. මම බීලා හිටියා කියලා ජෝන් අමරතුංග කියනවා නම් එතැන පොලිසියෙන් ඉන්නවා. අපිව චෙක් කරනවා. අතපත ගානවා. මේ සියල්ලම කරද්දි අපේ ගඳ සුවඳ ඔවුන්ට දැනෙනවා. එහෙනම් මම බීලා කියලා පොලිසියෙන් මට යන්න නොදී තියාගන්න ඕන.
පාර්ලිමේන්තුවේ වෛද්‍යවරු ඉන්නවා. මා බීලා සිටියා නම් වෛද්‍යවරුන් ළඟට මාව ගෙනගිහිල්ලා ඒ පිළිබඳව වෛද්‍ය වාර්තාවක් ගන්න ඕන. නමුත් මේ කිසි දෙයක් වුණේ නැහැ. මම බීලා ඇතුළට ඇවිල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයාට යන්න නොදී අතින් ඇදගෙන ඇවිල්ලා, කලබලකාරී තත්ත්වයක් ඇතිකළා කියමුකෝ. එහෙනම් ජෝන් අමරතුංග මොකක්ද මුලින් කරන්න ඕන. එයා එහෙනම් ගිහිල්ලා කතානායකතුමාට කියන්න ඕන මම බීලා ඉන්නවා කියලා. ඔය ජෝන් අමරතුංග කිසිම දෙයක් දන්න කෙනෙක් නෙවේ. දැනුමක් තියෙන මිනිහෙක් නෙවේ.
මට තියන නඩුවල හැටියට ඔය විනය පරීක්‍ෂණ මොනවාද? මම කියනවා පුළුවන් නම් ඔය එකෙකුට හරි ඇවිල්ලා මම බීලා හිටියා කියලා සාක්කි දෙන්න කියලා. කවුරුත් දන්නවා මම වැරැදි නැහැ කියලා.
අනික රනිල් තාම කියලාත් නැහැ එයාට මම ගැහුවා කියලා. ගැහුවා නම් වෙන වෙන හතර වටේ ඉන්න එවුන් ගැහුවා කියලා වැඩක් නැහැනේ. ගුටි කාපු එකා කියන්න ඕනනේ මොකක්ද වුණේ කියලා.
දිල්හාන් විමල්ක
Mawbima