ජනවාරියේ මැද භාගයට කිට්ටුවෙමින් තිබියදීත් තවමත් අපේ රටේ පවා වෙන කාලවල නැතිතරම් සීතලක් විශේෂයෙන් උදය කාලයට හා රාත්‍රියට පවතියි. යුරෝපයේ හා ඇමෙරිකාවේ තත්ත්වය අපට වඩා බෙහෙවින්ම දරුණුය. විශේෂයෙන් ඇමෙරිකාවේ ජනතාව පෙළෙන දැඩි සීතල වසර විස්සකින් මෙපිට ඇමෙරිකාවට දැනුණු දරුණුතම සීත කාලය බව කියැවෙයි.
මේ සීතල කොතෙක්ද යත් අන්තර්ජාලයේ තැනක මේ සීතල ගැන සඳහන්ව තිබුණේ “හෙල් ෆ්‍රීසස්ස් අවුට්” හෙවත් “අපායේ සීතල” වැනි අරුතක් සහිතවය. ඇමෙරිකාවේ ප්‍රාන්ත පනහටම හිම මිදෙන සීතලක් බලපා ඇත.
ඇමෙරිකාවේ උතුරු දිග ප්‍රදේශවල උෂ්ණත්වය අඟහරු ලොවේ උෂ්ණත්වයටත් වඩා අඩුවී ඇතැයි විද්‍යාඥයෝ පෙන්වා දෙති. මේ වන විට දැඩි සීතල කාලගුණයකින් බලපෑම් එල්ලවී ඇති ඇමෙරිකාවේ උතුරු දිග ජනපදවල උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 37ට වඩා අඩුය. ඇමෙරිකාවේ නාසා ආයතනයේ ගවේෂණවලට අනුව අධික සීතල කාලගුණයක් පවතිද්දී පවා අඟහරුගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 31 ට වඩා අඩු නොවේ.
නිව්යෝක්, නිව්ජර්සි හා මිනෙසොටා ප්‍රාන්තවල තත්ත්වය වඩාත් දරුණුය. පාසල් හා කාර්යාල සියල්ල වසාදමා ඇති අතර ඇතැම් නිවාස හා ගොඩනැගිලිවල හරි අඩක් හිමෙන් වැසී ඇත්තේ නිවැසියන්ට පිටතටවත් යාගන්නට නොහැකි වන ලෙසය.
ඇමෙරිකාවේද හිඟන්නන් සිටිති. වෙනසකට ඇත්තේ ඔවුන්ව හිඟන්නන් ලෙස නොව නිවාස අහිමි පුද්ගලයින් යන අරුත ඇති හෝම්ලස් පීපල් ලෙස හැඳින්වීමය. මේ අතරින් බහුතරය කළු ඇමෙරිකානුවන් වෙයි. මේ සීතලින් වැඩිම පීඩාවක් විඳින ඔවුහු මේ දිනවල ගත කරන්නේ සමාජ සේවා ආයතන තුළ ඒවායේ පිහිටෙනි. සීතලට පොරවාගන්නට බ්ලැන්කෙට්ටු හා ආහාර ඒවා තුළ ඔවුන්ට ලැබේ. මේ තැන්ද පිරී ඉතිරී ගොස් ඇති නිසා තවමත් පිටත සීතලේ වෙව්ලන ජනතාවද සිටිති. ජනතාව වඩාත් අසරණවී සිටින්නේ මේ සීතල හා හිම බලාපොරොත්තු නොවූ ආකාරයට කඩා වැදීම නිසාය.
මේ වාර්තාගත සීතල යුරෝපය හා ඇමෙරිකාවේ පැතිර යන්නට ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් උත්තර ධ්‍රැවයට ආසන්න රටවලට සිදුවන බලපෑම හේතුවී තිබේ. මෙම බලපෑම හැඳින්වෙන්නේ පෝලර් වෝටෙක්ස් නමිනි. මෙහිදී සිදුවන්නේ අඩු පීඩන තත්ත්වයක් යටතේ උත්තර ධ්‍රැවයේ ඇති ප්‍රබල සුළං ආක්ටික් කලාපයේම රඳවාගන්නවා වෙනුවට සාමාන්‍යයෙන් සිදුනොවන ආකාරයට දකුණු දෙසට වැඩිපුර තල්ලුවීමයි. එවිට මෙවැනි අසාමාන්‍ය සීතලක් යුරෝපයට හා ඇමෙරිකාවට බලපාන්නට ඉඩ සැලසෙයි. මෙය තනි සුළං රැල්ලක් නොව දැඩි සීතලක් ඇති කරන තත්ත්වයකි.කලින් කලට ඇතිවිය හැකි මේ තත්ත්වය ඇතැම්විටක ආසියාවටද බලපාන අවස්ථා තිබේ. හොඳින් බැලුවොත් පෝලර් වෝටෙක්ස් තත්ත්වයක් සුළි කුණාටුවකට හෝ ඊට සමාන ස්වභාවික විපතකට වඩා භයානකය. ඒ මෙවන් තත්ත්වයක් යම් නිශ්චිත පෙදෙසක් හරහා නොව හැමතැනම පැතිරයාම හා එය අවසන් වන කාල වකවානුවක් පවසන්නට අපහසු වීමය. මේ සමගම හිම කුණාටුද ඇති විය හැක.
පසුගිය මාර්තු මාසයේදී යුරෝපයට මෙවන් පෝලර් වෝටෙක්ස් තත්ත්වයක් බලපෑවේ නත්තල් සීතලටත් වඩා වැඩි සීතලක් පාස්කු කාලයේදී ඇති කරමිනි. බ්‍රිතාන්‍යයට පසුගිය මාර්තු මාසයේදී බලපෑ සීතල වසර පනහකින් මෙහා බලපෑ වැඩිම සීතලයි. මෙවැනි බලපෑමක් ඇති කාලයේදී ජනතාව හැකිතාක් නිවෙස් තුළට වී සිටිය යුතු අතර පිටතට යනවා නම් සම්පූර්ණයෙන්ම සිරුර වැසෙනසේ උණුසුම රැකෙන ඇඳුම්වලින් සැරසී යා යුතු බවට අනතුරු ඇඟවීම් කෙරෙයි. ඒ අතර නිවාස මෙන්ම වාහනද උණුසුම්ව තබාගන්නා ලෙසට උපදෙස් ලැබෙයි. මේ දිනවල ඇමෙරිකාවේ හා යුරෝපයේ ගමනාගමනයටද බාධා ඇති වී තිබෙන අතර සමහර තැන්වල ගමනාගමනය සම්පූර්ණයෙන් ඇන හිට ඇත.
මෙවන් තත්ත්වයක් ගෝලීය උෂ්ණත්වය නිසා ඇතිවන බවට මතයක් තිබියදී ඇතැමුන්ගේ මතය වන්නේ සම්පූර්ණ පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් මෙසේ උෂ්ණ කාලවලදී දැඩි උෂ්ණත්වයක් හා සීත කාලයේදී අධික සීතලක් ඇතිවිය හැකි බවයි.
බටහිර යුරෝපයේ ඇතැම් තැන්වලට පසුගිය සතියේ බලපෑවේ දශක දෙකකින් මෙපිට දැනුණු දරුණුතම සීතලයි. මේ දිනවල යුරෝපයේ හා ඇමෙරිකාවේ බලපාන සීතලේ සම්බන්ධයක් තිබුණද ඇමෙරිකාවට සීතල දරුණු වුණේ යුරෝපයේ සීතලේ බලපෑමකින් නොවේ.
ඇමෙරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයේ නගර අතරින් දෙවැනියට වැඩිම ජනගහනයක් ඇති බෆලෝ නගරයට මෙවර දැනුණු සීතල හා මිදුණු හිම කොතෙක්ද යත් දෙදාහේ වසරින් පසු නොකළ ආකාරයේ වැඩක් බෆලෝ ක්‍රීඩා බලධාරීන් කළේ පවත්වන්නට නියමිත ක්‍රීඩා තරග අවලංගු කරමිනි. පසුගිය අඟහරුවාදා වනවිට බෆලෝ ප්‍රදේශයේ අඟල් දහහතරක් උසට හිම වැටී තිබුණු බව වාර්තා විය. ඇතැම් ගංගාවන් සම්පූර්ණයෙන්ම මිදී ගොසිනි.හිම කුණාටු මෙන්ම දැඩි සුළං හේතුවෙන් කැඩීයන්නට ඉඩ තිබෙන ජලාශ දොරටු නිසා ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයන් ගැන නිතර විමසිල්ලෙන් සිටින ලෙස ජනතාවට රජය විසින් අනතුරු අඟවා තිබේ. මේ අනතුරු ඇඟවීම්ද ඇතුළුව හැකිතාක් මහමග ගමනේ යෙදීමෙන් වළකින ලෙසට අනතුරු ඇඟවීම් වැඩිපුරම කර ඇත්තේ ඇමෙරිකාවේය.දැඩි සීතල නිසා සිදු වූ මරණ දහසයක් ගැනද වාර්තා වන අතර ඉන් තුනක් කෙළින්ම දැඩි සීතල හේතුවෙන් සිදුව ඇති අතර ඉතිරි මරණ අයහපත් කාලගුණය නිසා සිදු වූ මාර්ග අනතුරුවලිනි. නිවෙස්වලින් පිටත ගොස් සිටි සුනඛයින් ඇතුළු සතුන්ගේ මරණ ගැනද වාර්තාවන්නේ දැඩි සීතල හේතුවෙන් ඔවුන් මියගිය බව දක්වමිනි.
ෆ්ලොරිඩාවෙන් වාර්තා වන්නේ සීතල දැඩිවුවත් ඉන් වගාවන්ට හානියක් වී නැති බවය. චිකාගෝවේ සත්තු වත්තකින් තවත් අමුතු පුවතක් අසන්නට ලැබෙයි. ඒ ඕනෑම සීතලකට ඔරොත්තු දෙන හිම වලසෙක් දැඩි සීතලෙන් ගලවා ගැනීමට කූඩුවෙන් පිටතට ගෙන උණුසුම් කළ ගොඩනැගිල්ලක් තුළට ගෙන එන්නට සිදුවීමේ පුවතයි. අනානා නම් වූ මේ හිම වලසාට සීතලට ඔරොත්තු දෙන මේද තට්ටුව උපතින්ම පිහිටා නොතිබිම ඊට හේතුවයි. සීත කාලයන්ට සාමාන්‍යයෙන් ඔරොත්තු දෙන ගිජුලිහිණියන් හා අප්‍රිකානු පෙන්ගුයින්ලාද මෙවර සීතලට ඔරොත්තු නොදෙන බැවින් උණුසුම් ගොඩනැගිලි තුළට ගෙන එන්නට සිදු වූ බව වාර්තා වෙයි.
තවදුරටත් ඉදිරියට අයහපත් කාලගුණික තත්ත්වය යටතේ ගමන් කළ නොහැකි බැවින් ඉලිනොයි ප්‍රාන්තයේ දුම්රිය තුනක් අතරමග නතර කරන්නට සිදුවීම හේතුවෙන් පන්සියයකට වැඩි පිරිසකට බොහෝ වෙලා මහමග රැඳෙන්නට සිදු වූ බව කියැවෙයි. මේ එක් දුම්රියක ගමන් කළ ජෙනට් ෆ්ලොයිඩ් නැමති කාන්තාව පවසා තිබුණේ මෙය තම ජීවිත කාලය තුළ මුහුණ දුන් දරුණුතම අත්දැකීම බවයි. පසුව බස් රියකින් චිකාගෝව බලා ආ ඇය ඒ වනවිට එක දිගට පැය විසිහයක් දුම්රියේ හා බස්රියේ වාඩිවී හිඳ තිබිණි. පසුගිය අඟහරුවාදා වනවිට ඇමෙරිකාවට එන හා පිටවන ගුවන් යානා දෙදහස් හයසියයක ගුවන් ගමන් අවලංගු කෙරුනු අතර ගුවන් යානා හයදහසක් පමණ ප්‍රමාද වී පැමිණ තිබිණි. නැව් ගමනාගමනයටද දැඩි සීතල බාධා පමුණුවා තිබේ. ඇතැමෙකුගේ අදහසට අනුව මේ ඔවුන් තම ජීවිත කාලය තුළ අතගෑ වඩාත්ම ඉක්මනින් දියවන හිමය.
මේ දිනවල ඇමෙරිකාවේ පවතින සීතලට සම්පූර්ණයෙන් නිරාවරණය වුවහොත් විනාඩි පහක් වැනි කාලයක් තුළදී සිරුර සම්පූර්ණයෙන් මිදෙන බව කියැවෙයි. පාඨක ඔබ මේ ලිපිය කියවන දිනය වනවිට කාලගුණ විද්‍යා¼ඥයින්ට අනුව දැඩි සීතල බොහෝදුරට අඩුවන්නට ඉඩ ඇති අතර ඇතැම්විට ඇතැම් ප්‍රදේශවල සීතල වැඩිවන්නට ඉඩ තිබේ.
නිශානි දිසානායක