-හිටපු විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා 2005 සිට අඛණ්‌ඩව වොලිබෝල් සම්මේලනයේ රැඳී සිටි අතර ටොරින්ටන් හී පිහිටි ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලන මධ්‍යස්‌ථානය, කොළඹ නගරය අලංකාර කිරීමේ නාගරික සංවර්ධන අධිකාරියේ වැඩ පිළිවෙල යටතේ කඩා කඩා ඉවත්කිරීමෙන් අනතුරුව වොලිබෝල් කාර්යාලීය මෙහෙයුම් කටයුතු විදේශ රැකියා අමාත්‍යංශයේ සිට ක්‍රියාත්මක විය.
ආණ්‌ඩු බලය හුවමාරු වීමත් සමග ජාතික ක්‍රීඩාවේ පරිපාලනය හෙවත් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ වැඩකටයුතුද ව්‍යාකූල තත්ත්වයකට පත්ව ඇත.
නමුත් ඉකුත් ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය ප්‍රකාශවීමත් සමගින් ඩිලාන් පෙරේරා මහතා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්‌වීමත් සමග අදාළ කටයුතු ක්‍රියාත්මක වන්නේ කොහි සිටද යන උභතෝකෝටිකයක් පැන නැගී තිබේ.
ඔවුනට ක්‍රීඩා අමාත්‍යංශ ගොඩනැගිල්ලේ ස්‌ථානයක් වෙන්ව ඇති නමුත් පළමුව ටොරින්ටන්හී වොලිබෝල් සම්මේලන මධ්‍යස්‌ථානයේ මෙන් (සභාපති සහ ලේකම්ට කාමරය බැගින්, රැස්‌වීම් කාමරයක්, ගබඩා කාමරයක්, නාන කාමරයක් එහි විය) ඉඩකඩ එහි නොමැති බවත් එය තනි කාමරයක් පමණක් බවත් දැනගන්නට ලැබෙන අතර වොලිබෝල් සම්මේලනයේ කාර්යභාරය සමග සසඳන විට එම ඉඩකඩ කිසිසේත් ප්‍රමාණවත් නොවන බව වොලිබොල් ක්‍ෂේත්‍රයේ පරිපාලනයට සම්බන්ධව ක්‍රියා කළ අය පවසති. මේ අතර ඉකුත් සතියේ දිනක ශ්‍රී ලංකා විදේශ රැකියා ප්‍රවර්ධන කාර්යාංශ පරිශ්‍රයේ තිබූ වොලිබෝල් සම්බන්ධ ලිපිගොනු සියල්ල ඉන් ඉවත් කරගෙන ඇති නමුත් එහි ගබඩාකර තිබූ වොලිබෝල් ඇතුළු ක්‍රීඩා උපකරණ තොගය තවමත් ඉවත්කරගෙන නොමැති අතර මේ සියල්ල ක්‍රමවත් විගණනයකට ලක්‌කිරීමෙන් පසු වෙනත් භාරකාරත්වයකට පැවරීම සඳහා ශ්‍රී ලංකා වොලිබොල් සම්මේලනයේ වත්මන් පරිපාලනය බලාපොරොත්තුවෙන් සිටින බවද වාර්තා වේ.
වොලිබෝල් සම්මේලනයේ ඉදිරි කටයුතු මෙහෙයවීම පිළිබඳව ලබන සතියේ විධායක සභාව කැඳවා තීරණයක් ගැනීමට ද නියමිතව ඇති බව දැනගන්නට ඇත.