මට මුතුහෙට්ටිගමට වෙඩි තියන්න හිතුණා.. නිල ඇඳුම ගලවල ගෙදර ආපු වඳුරඹ ඕ.අයි.සී කීර්තිසිංහ කතා කරයි.

මොකද මේ හදිස්සියේම නිල ඇඳුමට සමුදුන්නෙ?
හදිස්සියෙම නෙවෙයි. මේකට මම මගේ ඉතිහාසය කියන්නම්කො.මම මූලික අධ්‍යාපනය ලබන්නෙ ගාල්ල හිනිදුම ගමේ ඉස්කෝලෙන් පනංගල මහා විද්‍යාලයෙන්. මම ධරැඛ කරන්නෙ, කළුගමුව මධ්‍යමහා විද්‍යාලයෙන්. Aරැඛ කරන්නෙ ගාල්ලෙ රිච්මන්ඩ් විද්‍යාලයෙන්. මම ශිෂ්‍ය භට කණ්ඩායම්වල ප්‍රබල සාමාජිකයෙක්. මම 94 Aරැඛ කරල 97 වෙනකොට ීඔත‍ එකට එකතු වෙනව මම යුද්ධයට සෘජු දායකත්වයක් දුන්න.

වවුනියාව, මන්නාරම, මඩකළපුව, පොතුවිල්, අරංතලාව, මහඔය වගේ පැතිවලයි මම ඒ කාලෙ හිටියෙ. අපි 99 එල්.ටී.ටී.ඊ. ලීඩර් කෙනෙක්ව මැරුව. එල්.ටී.ටී.ඊ. එකේ 366 සාමාජික අංකය දරන මහ කොටිය. මම කටුකුරුන්ද පොලිස් පුහුණු උපදේශකවරයෙක්. ඉන්දියාවෙ මාස එකහමාරක් පුහුණුව ලැබුවා. පොලිස් සේවයට එන්නෙ 2009 අවුරුද්දෙ.

ඒ ගාලූ‍ වරාය පොලිසියෙ අපරාධ අංශයෙ ස්ථානාධිපති විදියට. ඊට පස්සේ ගාල්ල කොට්ඨාස විශේෂ විමර්ශන ඒකකයට සම්බන්ධ වෙනවා ඕ.අයි.සී. විදියට. මම ගාල්ලට කුඩු ගෙනියන එක නතර කළා. ඊළඟට පෝද්දල ඕ.අයි.සී. වුණා. අවුරුදු 2 1/2ක් හිටිය. පෝද්දල අපරාධ බහුල තැනක්. මම ඒ අපරාධවලින් සියයට හැත්තෑපහක් අඩු කළා. ඔප්පු කරන්න පුළුවන්. ඒ විදියට ඉන්නකොටයි හදිසියෙම වඳුරඹ පොලිස් ස්ථානයට මාරුවක් ආවෙ.ඇයි හදිසියෙ? මම හිතන විදියට වඳුරඹ හිටපු ඕ.අයි.සී. මහත්තයව අයින් කරන්නයි මාව ගත්තෙ.

කොයි කාලෙද?
2014/07/09. මාස පහයි. ඒ මාස පහට වදුරඹ හෙරොයින් සම්පූර්ණයෙන්ම නැති කළා. හොර හරක්, දැව ජාවාරම් සම්පූර්ණයෙන්ම නැති කළා.

එතකොට දේශපාලන අතපෙවීම් ආවෙ නැත්ද?
නෑ. එහෙම ආවෙ නෑ. මේ පැත්තෙ ඉන්නෙ හුඟාක් හොඳ මිනිස්සු. වඳුරඹ කියන්නෙ ජීවත් වීමට ඉතාමත්ම සුදුසු ප්‍රදේශයක්. මේ කාලෙම හවස හයෙන් පස්සේ බීපු මිනිහෙක් පාරකවත් නෑ. එහෙම කාලෙක තමයි මේ ඡන්දයක් ආවෙ.

මට කියන්න, දේශපාලන වේදිකාවට ගිනි තැබීමේ සිදුවීම ගැන?
ඒ සිදුවීම වෙන්නෙ උදෑසන 6.05ට විතර.

එතකොට ඒ වෙලාවෙ වේදිකාවට පොලිස් ආරක්‍ෂාව තිබුණෙ නැත්ද?
මම උදෑසන 6 වෙනකම්ම එතැන හිටිය. ඔය සිදුවීම වෙලා විනාඩි පහක් ඇතුළත මම එතෙන්ට ගියා. ගින්න නිව්වෙත් මම. එතන තිබුණු ෂෙඩ් එකෙන් ගිනි නිවන උපකරණයක් අරගෙන නිව්වා. එහෙම නොකළනම් ඒ වාහනේ පවා හොඳටම පිච්චෙනව. අපිට සී.සී.ටී.වී කැමරා දර්ශන වගයකුත් ලැබුණා.

පුද්ගලයන්ව හෝ වාහනවල අංක තහඩු හෝ හඳුනගන්න පුළුවන්ද?
අපිට බලපු ගමන් බෑ. ඒත් පරිගණක මඟින් වාහනවල අංක තහඩු හඳුනාගන්න පුළුවන්.

දැන් ඒ රූප රාමු කෝ?
ඒව අධිකරණයට ඉදිරිපත් කළා.

අත්අඩංගුවට ගත්ත නේද කීපදෙනෙක්ව?
තුන්දෙනෙක් අත්අඩංගුවට ගත්ත. ඒ අය නිශාන්ත මුතුහෙට්ටිගම එක්ක දේශපාලනය කරන කට්ටිය.

ඇයි ඒ අය මේ වැඩේ කළා කියල සැක කළේ?
උපක්‍රමශීලී විදියට ඒ තොරතුරු හෙළිකර ගත්තෙ බුද්ධි අංශ තොරතුරු මත.

කවද ද ඇල්ලූ‍වෙ?
සිද්ධිය වුණේ 17. මම 18 වැනිදා මේ සැකකරුවන් අත්අඩංගුවට ගත්තා. 19 වැනිදා තමයි ඔය දේශපාලකය පොලිසියට ආවෙ.

ඇවිත්?
අපි මේ සිදුවීම සම්බන්ධව ප්‍රකාශයක් ගත්ත.

එයාගෙ පෙත්ත ඔයා බිව්ව කියන්නෙ ඒ වෙලාවෙද? මොකද්ද ඒ කතාව?
ඔය ඇමැතිතුමා මගෙන් මුලින් පැනඩෝල් පෙත්තක් ඉල්ලූ‍වා. පස්සේ තේ එකක් ඉල්ලූ‍වා. තේ එක ගෙනාපු කෙනා තේ දෙකක් ගෙනාවා. එකක් මට. ඔය ඇමැතිතුමා මානසික ප්‍රශ්නෙකට ඛෙහෙත් බොනවලූ‍. මෙයා ඒක වෙලාවට බොන්නෙ නැති නිසා තේ එකට කුඩු කරල දානවලූ‍. දැන් මේ තේ එකටත් දාල. එයාගෙ තේ එක මම බිව්ව කියලයි කියන්නෙ.එහෙම බිව්වට පස්සෙ ඔබට මොනවත් වෙනසක් දැනුණද?
නෑ නෑ. එහෙම එකක් නෑ.

හරි සිද්ධිය කියන්නකො?
ඔහුට වුවමනාවක් තිබුණ උසාවියට සැකකාරයොත් එක්ක ගිහිල්ල ප්‍රසිද්ධිය ගන්න. අපි සැකකාරයො අරගෙන එළියට බැස්සා. ඇමැතිත් එළියට ආව. අපේ ජීප් එකයි, ඇමැතිගෙ එකයි එක ළඟ තිබුණෙ. එතන ඇමැතිගෙ පිරිස 15ක් විතර හිටියා. ඇමැති ජීප් එකට නැඟල ස්ටාට් කළා. ඒ ක්‍ෂ‚කයෙන්ම, zනැඟපල්ල…z කිව්ව. සැකකාරයො තුන්දෙනා නැග්ගා. ජීප් එක ගියා.

මාංචු දාල තිබුණෙ නැත්ද?
මාංචු දාන්න ලෑස්ති වෙනකොටයි මේක වුණේ.

සැකකාරයන්ව අරගෙන ගියාම ඕ.අයි.සී. විදියට මොකද කළේ?
මමත් මගෙ ජීප් එකේ නැඟල පස්සෙන් එළෙව්ව. ඇමැතිල ගියේ බද්දේගම උසාවිය පැත්තට. මම හිතුව මෙයාල උසාවිය ළඟදි මේ රේස් එක නතර වෙයි කියල. ඒත් නෑ, මම ටක් ගාල බද්දේගම පොලිසියට කතා කරල අධිවේගී පාරට යන්න බැරි කළා. ඇමැතිගෙ වාහනේ ප්‍රාදේශීය සභාවට හැරෙව්ව. මමත් හැරෙව්ව. එතන ඇමැතිගෙ වාහනේ නතර වුණා. ඇමැතිත් බැස්ස, මමත් බැස්ස.

එතනදි ගැටුමක් ඇතිවුණේ නැද්ද?
මම තදින් කිව්ව. ඒ කියපු එක මට පත්තරේට කියන්න බෑ. මට වෙඩි තියන්න හිතුණා.

කාටද?
නියෝජ්‍ය ඇමැතිට. ඒ වෙනකොට එතන සෙනඟ 50ක් විතර හිටියා. මම සැකකාරයන්ව ආපහු මගෙ ජීප් එකට දාගෙන, උසාවියට ඉදිරිපත් කරල රිමාන්ඩ් කළා. මගේ වගකීම මම කළා.

දේශපාලකයෙක්ගෙ වාහනයක් කියල දැන දැනත් පස්සෙන් එළෙව්වෙ, අනතුරක් වෙයි කියල නොහිතද?
ඒ වාහනේ ඇමැති ආරක්‍ෂකයො තුනක් හිටිය ගිනි අවි සමඟ. නි. ඇමැති ගාවත් තුවක්කුවක් ඇතිනෙ. ඒත් මේ මගෙ භාරෙ හිටපු සැකකාරයො. මම මේක නොකළ නම් තමයි වැරැදි.

සිද්ධියෙන් පස්සෙ තර්ජන ගර්ජන ආවෙ නැත්ද?
එහෙම ආව. අපේ උසස් නිලධාරි මහත්තුරු ලොකු පරීක්‍ෂණ පටන් ගත්තා. සිද්ධිය ගැන මගෙන් අහන්නෙ නැතිව වටෙන් හොයන්න ගත්තා. මම එනකොට මඟ රැකල ජීප් එකට ගහල සැකකාරයන් අරගෙන ගියා කියලයි කිව්වෙ.

ඔබේ ජීප් එකට දේශපාලකයෙක් ගැහුව නම් ඔබද වැරදි?
මම උසාවියෙන් එළියට එනකොටම බද්දේගම පොලිසියට එක්ක ගියා. ලොකු පරීක්‍ෂණයක්. ඒ අයට ඕනෑ වුණේ මගෙ වැඩ තහනම් කරන්න. ඒක පරීක්‍ෂණයක් නෙවෙයි. මාව මරාගෙන කන්න හැදුවා. මම නීත්‍යනුකූල නොවන ක්‍රමයකට ඒ පරීක්‍ෂණයට ගහගත්ත. ඒත් මම ඇහුව ඇමැති කරපු වරදට කොහොමද මම වැරැදි කියල. රෑ 9.00 වෙනකම් මම බද්දේගම පොලිසියෙ කටඋත්තර දෙනව.

මේ ඇමැති කෙනෙක් එක්ක හැප්පුණු මට උදවු කරනව වෙනුවට ඩී.අයි.ජී. එක පරීක්‍ෂණයයි,
ඩිවිෂන් එක පරීක්‍ෂණයයි, ඒ.එස්.පී. එක පරීක්‍ෂණයයි මට විනය පියවර ගන්න. මේ මට ද~ුවම් කරන්න. සමස්ත පොලිසියම මාව තනිකරල. තනි මම මොනව කරන්නද? මට දැඩි කලකිරීමක් ඇති වුණා. හැබැයි මම අර කලින් කියපු විදියටම මේ පරීක්‍ෂණ පවත්වන එකත් නතර කළා.

පරීක්‍ෂණ නතර කරවන මොකද්ද ඔය අර විදිය කියන්නෙ?
ඒක දේශපාලන බලපෑමක්. මමත් බේරෙන්න ඕනනෙ. මම පොලිස් බල ප්‍රදේශයක් පාලනය කරපු කෙනෙක්. මේ ගම්වල පොලිසියේ ඕ.අයි.සී. ට සලකන්නෙ දෙයියෙක්ට වගේ. ලොකු උත්සවවල ප්‍රධාන ආරාධිතය මම. මම අභිමානයකින් හිටපු කෙනෙක්.අජිත් රෝහණ මහත්තය කොන්ද පණ නැති, නිවට, අලස වගේ වචන වගයක් කිව්වෙ මට. ඒව තියෙන්නෙ මගෙ නෙවෙයි.

මේ ප්‍රකාශ සම්බන්ධව ගන්න ක්‍රියාමාර්ගයක් නැත්ද?
නඩුවක් දාන්න පුළුවන්. ප්‍රතිපත්තියක් විදියට, මට වඩා උසස් නිලධාරියෙක්ට නඩු දාන්නෙ නෑ.

ප්‍රතිපත්තියද? නැත්තම් බයයිද?
බයනම් මම මෙහෙම එන්නෙ නෑ. මම බය අඳුනන මිනිහෙක් නෙවෙයි. මම ජීප් එකට නැඟල ගියෙ හරි අභිමානයෙන්. ඒ මම ප්‍රතිපත්ති රකින මිනිහෙක් නිසා.

එතකොට සේවයෙන් අස්වෙලා ගියේ අභිමානය නැති වෙච්ච දුකටද?
මේ සිද්ධි දාමය ගැන මම දැඩි කලකිරීමෙන් ඉන්නෙ. මගෙ සහයට කවුරුවත්ම නෑ. මේ ඉහළ නිලධාරි ඔක්කොම එකතු වෙලා තනි මට දෙන ප්‍රෙෂර් එක ඉවසන්න බෑ. මට නිවට, කොන්ද පණ නැති අනං මනං කිව්වම, මගෙ බිරිය දරුවො කොහොමද සමාජෙට මුහුණ දෙන්නෙ. එක දරුවෙක් ගාල්ලෙ සවුත්ලන්ඩ් විද්‍යාලයෙ අට වසරෙ. අනෙක් කෙනා මේ වසරෙ පාසලට භාරදෙනව. මගෙ අම්ම, තාත්ත, සහෝදරයො මේකෙන් කොයිතරම් අපහසුවට පත්වෙයිද? තාත්තා ඕ.අයි.සී. කියල කියපු මගෙ දරුවො තාත්තට නිවටය කියපුවම හොඳටම ඇ~ුවා. කොහොමද ඒ දරුවො සමාජෙට මූණ දෙන්නෙ. ඕ.අයි.සී. කෙනෙක් කියන්නෙ ලොකු චරිතයක්. ලංකාවෙම තියෙන්නෙ පොලිසි 437යි. ඒ අතරින් එකක් තිබුණෙ මගෙ භාරෙ.

කොහොමද සේවයෙන් සමුගත්තෙ?
මට යන්න හිතුණා. තොරතුරු පොතේ සටහනක් යෙදුව. අවි ආයුධ භාරදුන්න. මගෙ වෙපන් එකයි, තැපැල් ඡන්ද පත්‍රිකා ටිකයි යාළුවෙක්ට කතා කරල එයාගෙ වාහනේ ගිහිල්ල උසස් නිලධාරීන්ට ෆැක්ස් යැව්ව. ඊට පස්සේ මාධ්‍ය මගෙන් ඇහුව මේ ගැන. මම කිව්ව.

ඔය ක්‍රමේ හරි ක්‍රමේද?
ඒක ඉතින් මට වැඩක් නෑ. මට මාසයක් බලා ඉන්න බෑ. මට නොගැළපෙන නිසා මම ගියා. දැන් මට
පරීක්‍ෂණ කරන්න බෑ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා කියනව 83 වගන්තියක් යටතෙ නඩු දානව කියල?
මම මූණ දෙනව. මම දැන් පොලිස් සේවයෙ නෑනෙ.

මේ සිදුවීමට නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය ඇමැතිගෙ මැදිහත්වීමක් නැත්ද?
ගාල්ලෙ පක්‍ෂ විපක්‍ෂ භේදයකින් තොරව දේශපාලකයො මගෙ යාළුවො. යූ.ඇන්.පී.ත් එහෙමයි ජේ.වී.පී. ත් එහෙමයි.

එතුමත් යාළුවෙක්ද?
හිතවත්, අඳුනනව.

ජීවිතය පිළිබඳ අනාරක්‍ෂිත බවක් නැත්ද?
ලොකු ප්‍රශ්නයක් තියෙනව. මගෙ දරුවො ගැනත්.

දැන් රැකියාවකුත් නෑ නේද?
ඔව්, මම මාස් පඩියෙන් ජීවත් වුණේ. දැන් මට ප්‍රශ්නයක් තියෙනව. ඒත් මට ඕක දාල වරෙන්… කියපු යාළුවො ඉන්නව. ඒ අය මට හයියක්.

ගත්ත තීන්දුව ගැන පසුතැවීමක් නැත්ද?
කිසිම පසුතැවීමක් නෑ. පොලිසිය රැකෙන්නෙ ඕ.අයි.සී. නිසා. මේ පොලිස් සේවය හදපු සුද්‍දො කියන්නෙ ඕ.අයි.සී. zකින්ග් ඔෆ් ඒරියාz කියල.

දැන් ඔය කියන විදියට කින්ග් ඕ.අයි.සී. නෙවෙයි නෙ, නියෝජ්‍ය ඇමතිනෙ?
ඒක ප්‍රශ්නයක්.

මේක හදිසි තීරණයක් ද? හොඳට කල්පනා කරල ගත්ත එකක්ද?
ක්වාටස් එකට ගිහිල්ල හොඳට කල්පනා කරල ගත්ත තීරණයක්.

දැන් ඔබ සේවය හැර ගියා සේ සලකන බව කියනව නේද?
මම එහෙම සලකන්නෙ නෑනෙ. එයාලට ඕනෑ එකක් හිතා ගත්තාවෙ.

ඔහොම එඩිතර තීරණ ගන්න හුඟාක් අය පස්සේ දේශපාලනයට හේත්තු වෙනවනෙ, ඔබ කවදද එහෙම එන්නෙ?
කිසිම දවසක නෑ. මට මේවට දේශපාලන සම්බන්ධයක් නෑ. කරුණාකරල මේකට කිසිම දේශපාලනයක් ගාවන්නත් එපා. දේශපාලකයන්ටත් කියන්න තියෙන්නෙ, මේක කවුරුවත් පාවිච්චි කරන්න එපා.

ජීවන පහන් තිළිණ / ප්‍රේමලාල් විජයරත්න

Check Also

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...

සුසිල්ගේ ගේම මහින්ද හෙළිකරයි

මෛත්‍රීට ඇටෑක් කරන එක වහාම නවත්තන්න. මම මිනිහව හැන්ඩ්ල් කරන්නම්. මේ කරපු වැඩේ සම්පූර්ණ ගෞරවය ...