16.3 C
London
Wednesday, April 30, 2025
spot_img

වල්ලපට්ට ශාකයෙන් අපේ රටේදීම සුවඳ විලවුන්?

වල්ලපට්ටා ශාකය මෑතකාලීනව මෙරට ජනතාව අතර අසන්නට ලැබුණු, කතා බහට ලක්වූ ශාකයක් බවට පත් වී තිබේ. දුර්ලභ මෙන්ම ඉතා වටිනාකමක් පවතින මෙම වල්ලපට්ටා ඖෂධීය වටිනාකමක් මෙන්ම සුවඳ විලවුන් නිෂ්පාදනය සඳහා යොදා ගැනෙන ද්‍රව්‍යයක් අඩංගු ශාකයක් ලෙස අප සමාජයේ ප්‍රකට වී තිබේ.

මෙම වටිනාකමින් යුත් ශාකය සංරක්ෂණය කර ගැනීමට ජනතාව පෙලඹවීමත්, ජනතාව දැනුම්වත් කිරීමත් අප සතුව පවතින කාර්යභාරයකි. මෙම ශාකයේ විද්‍යාත්මක පසුබිමත්, එහි වර්තමාන භාවිතය පිළිබඳව පේරාදෙණිය ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරිල් විජේසුන්දර මහතා වැදගත් කරුණු රැසක් අනාවරණය කළේය.

වල්ලපට්ටා ශාකය අයිති වන්නේ Thumeloeaceae කුලය යටතේ එන Gyrinops ගණයට වේ. මෙම ශාකය උද්භිද විද්‍යාත්මකව හඳුන්වනු ලබන්නේ Gyrinops Walla යනුවෙනි. මෙම ශාකය ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් නොවන අතර මීටර 15 පමණ උස ශාකයක් වන මෙහි පත්‍ර දිගටි හැඩයෙන් යුක්ත වේ.

තද දුඹුරු පැහැයට හුරු අළු පැහැති වර්ණයෙන් යුක්ත වේ. කඳ දැඩි ලෙස කෙඳි සහිතය. මෙම ශාකයේ කහවන් සුදු වර්ණයෙන් යුතු මල් හටගන්නා අතර ඵල රතුවන් දුඹුරු වර්ණයෙන් යුක්ත වේ. මෙම ශාකය විශේෂයෙන් දක්නට ලැබෙන්නේ තෙත් කලාපයේ ය. අපේ රටේ බහුලවම දකින්නට නොලැබෙන ශාකයක් වුවද ඉන්දියාවේ කේරළ හා තමිල්නාඩු යන ප්‍රාන්තවලත් දකින්නට ලැබේ.

මෙම ශාකවලට දීලිරයක් ආසාදනය වේ. ඉන් පසුව එම දීලිරයට දක්වන ප්‍රතිරෝධයක් විදියට ශාක කඳ තුළ රෙසිනයක් ඇති වේ. එය ආගාර් (Agar) නමින් හැඳින්වේ. ඉන් පසුව මෙම කොටස දුඹුරු පැහැයක් ගැන්වේ. මෙම ද්‍රව්‍ය සුවඳ විලවුන් නිෂ්පාදනයට යොදා ගනු ලබයි.

වල්ලපට්ටා ශාකයේ මල් හටගැනීම අප්‍රේල් සිට ජුලි දක්වා සිදුවන අතර මේ කාලයේදීම නොමේරූ ගෙඩි ද දැකිය හැකිවේ. පුෂ්ප මංජරියක මල් හට ගන්නා අතර ඒවා සුදු පැහැයට හුරු ලා කහ පැහැයක් ගනී. පුෂ්පිකාවක දිග සෙන්ටිමීටර දෙකක් පමණ වේ. පළල මිලි මීටර 5 ක් පමණ වේ. පුෂ්පිකාවක පෙති පහක් දක්නට ලැබේ. ඒවා නාළාකාර මුකුට නළයකින් සම්බන්ධ වන අතර මුකුට නළයේ ඇතුළත ඉහළ කෙළවරේ පරාගධානි පහක් සම්බන්ධව පවතී. පරාගධානිවලට පහතින් කලංකය පිහිටා තිබේ.

පුෂ්ප හා ඵල හට ගැනීම එකම කාලසීමාවකදී දැකිය හැකි වේ. මල් හට ගැනීම අඩු වයසින් සිදුවන අතර අඩි දෙකක් තුනක් උස ගස්වල පවා ගෙඩි හට ගැනීම සිදුවේ. එක් කුඩා ගසකින් ගෙඩි විස්සක තිහක අතර ප්‍රමාණයක් නෙළිය හැකි අතර විශාල ගසකින් මීට වඩා වැඩි ප්‍රමාණයක් ලබාගත හැක.

ශාකයේ පොත්ත පහසුවෙන් ගැලවී යාමත්, පත්‍රයේ නාරටි පිහිටා ඇති ආකාරයත්, ඵලයේ විශේෂිත ස්වභාවයත්, බීජයේ ඇති පුළුන් වැනි උපාංගයන් ශාක නිවැරැදිව හඳුනා ගැනීමට භාවිත කළ හැකි සුවිශේෂී ලක්ෂණයක් වේ.

වල්ලපට්ටා ශාකය පිළිබඳව වර්තමාන භාවිතයන් ලෙස සුවඳ විලවුන් නිෂ්පාදනයට බෙහෙවින් යොදා ගත හැක. වල්ලපට්ටා ශාකය උපයෝගි කර ගනිමින් රජය සහ පර්යේෂණ ආයතන රැසක් එකතු වී නිෂ්පාදන රැසක් පාරිභෝගිකයාට ලබාදීමට කටයුතු කළ යුතුයි.

මෙමඟින් ආර්ථික වාසි රැසක් උපයා ගැනීමට හැකියාවක් තිබේ. ඒ ගැන රජයේ අවධානය යොමුවීම වැදගත්. වල්ලපට්ටා ශාකයේ ක‍ඳේ සෑදෙන Agar නම් රෙසිනය සුවඳ විලවුන් නිෂ්පාදනයට යොදා ගත හැක. ඒ වගේම මෙම ශාකය යොදා ගනිමින් නොයෙකුත් පලඳනා නිපදවා ගැනීමටත් සමත් වී තිබේ. අතීතයේදී දන්ත ආබාධවලට වගේම පත්තු බැඳීම වැනි ඖෂධීය ප්‍රතිකාරයන් සඳහා ද භාවිත විය.

ලංකාවේ වල්ලපට්ටා ශාකය ආරක්ෂා කර ඇත්තේ වන සංරක්ෂණ ආඥා පනත මඟිනි. මෙයට අනුව වල්ලපට්ටා ශාකය වනයේ උපදින ද්‍රව්‍යයක් ලෙස නම් කර තිබේ. මෙම ආඥා පනත යටතේ වල්ලපට්ටා ශාකය අපනයනය කරනවා නම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බලපත්‍රය මෙන්ම හයිටේස් ප්‍රඥප්තියේ බලපත්‍රය ද අවශ්‍ය වේ.

ශ්‍රී ලංකාව තුළ වල්ලපට්ටා වෙළෙඳාම කිසිසේත්ම කළ නොහැක. වල්ලපට්ටා ශාකය ආරක්ෂා කර ගැනීමට විදේශ අමාත්‍යාංශයේ කාර්යභාරය අත්‍යවශ්‍ය වේ. ඒ අනුව යම් ආකාරයකට නීති විරෝධි ලෙස වල්ලපට්ටා ශ්‍රී ලංකාවෙන් වෙනත් රටකට අපනයනය වේ නම් එම රට මඟින් ලංකාව දැනුම්වත් කිරීම මඟින් වල්ලපට්ටා ශාකයේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට හැකිය.

මෙම වල්ලපට්ටා ශාකය ස්ථාපිත වගාවක් ලෙසට පත් කිරීමෙන් පසුව බලපත්‍ර දීමේ ක්‍රමය ඇති කළ යුතු බවත් බලපත්‍ර ලබා දිය යුත්තේ ගැසට් නිවේදනයක් මඟින් බවත් පරිසර නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පැවැසීය.

වල්ලපට්ටා ජාවාරම ලංකාව පුරාවට සිදුවෙමින් පවතින කාල වකවානුවක් බවට පත්වෙමින් තිබේ. ගුවන් තොටුපළ සහ වරාය හැර වෙනත් ක්‍රම වලින් ද වල්ලපට්ටා රටින් පිටවන බවට තොරතුරු හෙළි වෙමින් තිබේ. මේ නිසා මෙරට පරිසර පද්ධතියට හානි සිදු වෙනවා මෙන්ම රටට විශාල ධනස්කන්ධයක් අහිමි වීමේ ලකුණු දක්නට ලැබේ. එම නිසා වල්ලපට්ටා ජාවාරම වහාම නැවැත්වීමට කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ රේගු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සමන්ත ගුණසේකර මහතා පැවැසීය.

කවර මත පළ වුණත් මෙරට වල්ලපට්ටා ශාකවල ඇති ‘Agar’ විශේෂය ලොව මිහිරිතම සුවඳ විලවුන් නිපදවීමට හැකි සුවිශේෂී ද්‍රව්‍යයක් බව ගුණසේකර මහතා තවදුරටත් පැවැසීය.

වල්ලපට්ටා ශාකය වැඩිදියුණු කොට අනාගතයේ දී වල්ලපට්ටා ශාකය ආරක්ෂා කිරීමට කටයුතු කිරීමට බලාපොරොත්තු වේ. 2010 වර්ෂයේ ආරම්භ කළ පොලිස් ස්ථාන ඔස්සේ පරිසර ආරක්ෂක අංශ පිහිටුවා ඇති අතර ඒ හරහා ලැබෙන ආරංචි මඟින් වැටලීම් 14 – 15 ක් තුළින් මහ පරිමාණෙන් කරන ලද විනාශයන් පිළිබඳව තොරතුරු හෙළිදරව් කරගෙන තිබේ. එමඟින් මිලියන කෝටි 40 ක පමණ වල්ලපට්ටා සොයා ගෙන ඇතිබව වන සංරක්ෂණ ජනරාල් අනුර සතුරුසිංහ මහතා අනාවරණය කළේය.

වල්ලපට්ටා ශාකය සුළු අපනයන බෝගයක් ලෙස ප්‍රචලිත කර ඉහළ ආර්ථික වෙළෙඳපොළක් ඇති කිරීමට කටයුතු කරන බව ද අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය එච්. ඒ. සුමනසේන මහතා පැවැසීය.

පරිසර පුනර්ජනනීය හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් බී. එම්. යූ. ඩී. බස්නායක, උද්භිද විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරිල් විජේසුන්දර, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සමන්ත ගුණසේකර, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආචාර්ය උපුල් සුබසිංහ, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය එච්. ඒ. සුමනසේන හා පරිසර නීතිඥ ජගත් ගුණවර්ධන යන මහත්වරුන් පුනර්ජනනීය හා බලශක්ති අමාත්‍යාංශයේදී පැවැති සම්මන්ත්‍රණයකදී කළ දේශන ඇසුරිනි.

ධනුෂ්කා ජයවීර

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles