-මීට වසර 2 2/1 කට උඩදී අභිරහස් අන්දමින් ඝාතනය කර මෝටර් රථයට දමා ගිනි තැබූ ශ්‍රී ලංකා ජාතික කණ්‌ඩායමට ක්‍රීඩා කළ ජනප්‍රිය රගර් ක්‍රීඩක වූ 2009 වර්ෂයේ ජනප්‍රියම රගර් ක්‍රීඩකයා වූ ද ප්‍රසිද්ධ රගර් කණ්‌ඩායම් කීපයකටම ක්‍රීඩා කළ වසීම් තජවුඩීන් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්‌ඩායමක් විමර්ශන මේ වන විට ආරම්භ කර තිබේ. රගර් ක්‍රීඩාවට සම්බන්ධ ප්‍රබල දේශපාලන හස්‌තයක් ක්‍රියාත්මක වීම නිසා තජවුඩීන් ඝාතනය සම්බන්ධයෙන් කෙරුණු පරීක්‍ෂණ කටයුතු යටගොස් තිබුණත් මෙවැනි දේවල් නැවත නැවත ඇති වීමට මෙය මුලපිරීමක් වෙයි. රගර් ක්‍රීඩාවට සම්බන්ධ දේශපාලන ප්‍රබලයකු සහ තජවුඩීන් අතර ආරවුලක් පැවැති බවත් මොහුගේ අභිරහස් මරණය සිදුවී ඇත්තේ එම ආරවුලින් පසුව බවත් ආරංචි මාර්ග පවසන අතර මෙම ආරවුල පෙම්වතියක සම්බන්ධයෙන් පැවති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී. තජවුඩීන් මහතා මිතුරකුගේ නිවසේ පැවැති සාදයකට සහභාගි වී වැල්ලවත්තේ පිහිටි නිවස බලා යමින් සිටියදී නාරාහේන්පිටදී අභිරහස් අන්දමින් ඝාතනයට ලක්‌වී ඇත. තජවුඩීන් මහතා ගමන් ගත් මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ තාප්පයක ගැටී ගිනිගෙන විනාශ වූ අතර ඔහු වාහනය තුළම හඳුනාගත නොහැකි ලෙස පිළිස්‌සී මියගොස් සිටියේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්‍ෂණ කරද්දී තජවුඩීන් මහතාට අයත් මුදල් පසුම්බිය වෙනත් ස්‌ථානයක බිම වැටී තිබියදී සොයාගෙන ඇත. ඉකුත් 2012 වර්ෂයේ මැයි මස 17 වැනිදා අලුයම නාරාහේන්පිට නගරයේදී සිදුවූ හදිසි අනතුරකින් තජවුඩීන් මහතා මිය ගිය බව මූලික පරීක්‍ෂණවලින් හෙළිවී තිබූ බව පොලිසිය ප්‍රකාශ කර තිබිණි. තජවුඩීන් මහතාගේ මරණය සිදුවූ ආකාරය හෙළිකර ගැනීම සඳහා රජයේ රස පරීක්‍ෂකවරයාද කැඳවා තිබිණි.
මෙම සිද්ධිය වී වසර 2 1/2 ක කාලයක් ගතවී ඇතත් රස පරීක්‍ෂක වාර්තාව මේ වන තුරුත් ලැබී නැත.පොලිස් ආරංචි මාර්ග කියා සිටියේ අදෘෂ්‍යමාන දේශපාලන හස්‌තයක් ක්‍රියාත්මක වීම නිසා මෙම සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණ කටයුතු ඇනහිට ඇති බවයි.
තජවුඩීන් මහතාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණ කටයුතු මුල සිටම ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටියි.