පබෝධාට මාසෙන් කෙට්ටු වෙන්න උපදෙස් දුන්නේ සචිනිලූ‍…

කාලයක් නිහඬ වෙලා ආයෙමත් පබෝධා කරළියට ඇවිත්?
ම්… ඔව්… චිත්‍රපටයකින් වැඩ ඇල්ලූ‍වා. ඒ උදයකාන්ත අයියාගේ ගින්දරී.

ක්‍ෂේත්‍රයට පය ගහපු ගමන් සම්මානයකුත් ලැබුණ නේද?
ඔව්නේ… සුමති සම්මාන උළෙලේ හොඳම නිළිය වුණා.

හොඳම නිළිය සම්මානය හිමිවුණ දෙවැනි අවස්ථාව මේ?
රයිගම් සම්මාන උළෙලකදී පිංගල දනව්ව ටෙලි නාට්‍ය වෙනුවෙන් 2011දී මුලින්ම සම්මානය හිමි වුණා. ඊට පස්සේ බොරලූ‍ පාරට මේ වතාවෙ සම්මානයක් ලැබුණා.

ආඩම්බරයිද?
අපෝ නැහැ. නිහතමානී සතුටක් තියෙන්නේ.

ලැබුණු තත්ත්වය ආරක්‍ෂා කරගන්න මහන්සි වෙන්න වෙයි?
සම්මාන බලාගෙන මම කවදාවත් රඟපෑවේ නෑ… ඒ නිසා ලැඛෙන දේ සතුටින් භාර ගන්නවා මිසක් සම්මාන පස්සේ දුවන්නේ නෑ.

විවාහ වුණාට පස්සේ ලැබුණු පළමු වැනි සම්මානය නේ. සිදත්ගෙ ප්‍රතිචාර කොහොමද?
මටත් වැඩිය සතුටු එයාට. එයා කොහොමටත් මගේ හැකියාව අගය කරන කෙනෙක්.

එහෙනම් පබෝධා ආපහු රඟපානවාට කැමැති ඇති?
ඔව්… කවදාවත් එයා රඟපානවට තහංචි දාලා නෑනේ. පුතා පුංචි නිසා මමයි ටික කාලයක් රංගනයෙන් ඉවත් වුණේ. දැන් පුතාට අවුරුදු එකහමාරක් වෙනවානේ.

අවුරුද්දකට වැඩි කාලයක් ඔයත් එක්කම ඉඳලා දැන් පුතා ඔයා නැතිව ඉන්න කැමැතිද?
පුංචි කාලේ ඉඳන්ම එයා ඕනෑම එක්කෙනෙක් එක්ක ඉක්මනට යාළු වෙනවා. දවල් දවසෙ මම නැතිව ඉන්නවා. රෑට තමයි මාව හොයන්නේ.

අම්මා ෂූටින් ගියාම කවුද පුතාව බලාගන්නේ?
සිදත්ගෙ අම්මයි, තාත්තයි, මගේ අම්ම, තව නීටා, වසන්තා කියලා ඇන්ටිලා දෙන්නෙකුයි ඒ වගේ වෙලාවට උදව්වට එනවා.
හැබැයි වේලාසනින් කියන්න ඕනෑ.

මෙච්චර පිරිසක්? පබෝධාගේ පුතා වාසනාවන්තයිනේ?
ඔව්… හැබැයි මම ඒ උදවු පරිස්සම් කරගන්නවා. හැම වෙලාවෙම කරදර කරන්නෙ නෑ. අවශ්‍යම වෙලාවට ගන්නවා.

ගින්දරී කියන්නේ බහුබූතයෝ චිත්‍රපටයේ දෙවැනි කොටස. බහුබූතයෝ චිත්‍රපටයේ අපි දැකපු ඔබේ රූප සුන්දරත්වය ගින්දරී චිත්‍රපටයෙන් දකින්න ලැඛෙයිද?
කට ඉස්සර කරගන්න ඕනෑ නෑනේ. චිත්‍රපටය ආවහම බලමු නේද?

බහුබූතයෝ රූගත කළේ අවුරුදු 12කට කලින්. එතකොට ඔබට අවුරුදු 19යි. අවුරුදු 19දී තිබුණු රූප සොබාවම තාමත් තියෙනවා කියලද කියන්නේ?
මට එහෙම කියන්න බෑනේ. ඒක අහන්න ඕනෑ උදය අයියාගෙන්. මොකද උදය අයියානේ මට කතා කළේ.

චිත්‍රපටය වෙනුවෙන් ඇප කැප වෙලා කෙට්ටු වෙන්න උත්සාහ ගත්තා කියලා ආරංචියි?
ඇත්ත. රූගත කිරීම් පටන් ගන්න මාස එකහමාරයි තිබුණේ. ඒ කාලය ඇතුළත මහන්සි වෙලා කිලෝ 5ක් බර අඩුකර ගත්තා.

නොකා නොබී ජිම් යන්න ඇති?
නෑ… කොහේවත් ගියේ නෑ. ව්‍යායාම් කළා. කෑම පාලනයක් නම් කළා. හැබැයි නොකා නොබී හිටියේ නැහැ.

වෛද්‍ය උපදෙස් ගත්තද?
අපෝ නෑ… සචිනි අයේන්ද්‍රා තමයි මට උපදෙස් දුන්නේ. සචිනි මට ඩයට් චාට් එකක් දුන්නා. ගෙදර ඉඳගෙන තමයි ව්‍යායාම කළේ. ඇවිද්දෙත් ගේ වටේ. පුතා නිදා ගත්තට පස්සේ තමයි ඇවිද්දේ. ව්‍යායාම් කළේ.

උත්සාහයේ ප්‍රතිඵල නරක නෑ?
අපෝ ඔව්… හොඳටම හොඳයි. මට මාර සතුටුයි.

ඒ කියන්නේ පබෝධා ආපසු විලාසිතා කරන්න පටන් අරන්?
නැත්නම්… ආයෙමත් මගේ පරණ කොට කෑලි ටික අඳින්න පුළුවන්. ඒ දවස්වල ඇඳපු මම කැමැති ඇඳුම් තියාගෙන හිටියේ. ඒ ඇඳුම් අඳින්න පුළුවන් කියන්නේ ආයෙමත් මම පරණ තත්ත්වයට ඇවිත්නේ.

කොට ඇඳුම් අඳින්න සිදත්ගෙන් තහනමක් නැද්ද?
නෑ… විලාසිතා ගැන එයාට හොඳ අවබෝධයක් තියනවා. අනවශ්‍ය තහංචි සිදත් ළඟ නෑ.

රඟපෑවේ චිත්‍රපටයකනේ… ටෙලි නාට්‍යයකට ආරාධනා ආවොත්?
හොඳ දෙයක් නම් භාරගන්නවා. චිත්‍රපටයට කලින් මට කතා කළේ ටෙලිනාට්‍යයකට. රුක්මල් නිරෝෂන්ගේ. ඒක ටිකක් පස්සට කල් ගියා.

මෙගා ටෙලි නාට්‍යයක් වුණත් භාර ගන්නවද?
කොටස් 100ක් කියන්නේ මෙගාද කියලා නම් මම දන්නේ නෑ. බොරලූ‍ පාර කියන්නෙත් කොටස් 100ක නාට්‍යයක්. කොටස් 100ක් නම් ගැටලූ‍වක් නෑ.

පබෝධා ආයෙමත් රඟපාන්න ගත්ත තීරණය ගැන වැඩිපුරම සතුටු වෙන්නේ අම්මා වෙන්න ඇති?
ඔව්. අම්මාට සතුටුයි ආයෙමත් මම වැඩ පටන් ගත්ත එකට.

Check Also

මට මුතුහෙට්ටිගමට වෙඩි තියන්න හිතුණා.. නිල ඇඳුම ගලවල ගෙදර ආපු වඳුරඹ ඕ.අයි.සී කීර්තිසිංහ කතා කරයි.

මොකද මේ හදිස්සියේම නිල ඇඳුමට සමුදුන්නෙ? හදිස්සියෙම නෙවෙයි. මේකට මම මගේ ඉතිහාසය කියන්නම්කො.මම මූලික අධ්‍යාපනය ...

සල්ලිකාරයන් වැදගතුන් පය ගැසූ කාගිල්ස් කණපිට හැරෙව්වේ මං

• පහුගිය කාලය පුරාම ඔබ පිළිබඳ කිසිදු පුවතක් දුටුවේ නැති තරම්… මං මේ මීඩියා එකට ...