මං පිරිමියෙක් එක්ක කතා කළත් මෙයා මාව සැක කරනවා…

අනුර සහ ලලනි මැදිවියේ යුවළක්. ඉතා දුක් මහන්සි වී තම ව්‍යාපාරය ගොඩනගා ගත් අනුර මේ වන විට යම් සාර්ථක ත්වයකට පැමිණ තිබුණා. නමුත් මෑතක සිට ඔවුහු විශාල ගැටලුවකට මුහුණපා සිටියා. අනුරට දියවැඩියාව සහ අධික රුධිර පීඩනයෙන් පෙළුණා.

ඊට ප්‍රතිකාර ගන්නා අතරේ ඔහුට ටික කලක සිට තදබල කෑම අරුචියක් ඇතුළු විවිධාකාර කායික රෝගාබාධ ඇති වුණා. කොතෙක් ප්‍රතිකාර කළත් එය සුවපත් වූයේ නැත. කෙසේ හෝ එක් කායික රෝග වෛද්‍ය වරයකු අනුරව මානසික රෝග සායනය වෙත යොමුකර තිබුණේ මේ අතරතුරදීය.

අනුර සමග ලලනිද මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයා වෙත පැමිණියා. “කිසිම බේතකින් මෙයාගෙ ලෙඩේ නම් හොඳ වෙන පාටක් නෑ ඩොක්ටර්. මෙයාගෙ ආච්චිගෙ වැඩේම අපෙ ගේ දිහාම බලා ඉන්න
එක. මේ සේරටම මුල ඒක තමයි.“සැමියා රෝග විස්තරය වෛද්‍යවරයා වෙත දන්වා සිටීමෙන් පසු බිරිඳ ඊට අතුරු කතාවක් එකතු කළා.

“ආච්චිගේ ගේත් ඔයගොල්ලන්ගෙ ගේ ගාවද තියෙන්නේ?” මනෝ වෛද්‍යවරයා ඇසුවා. “එයා හිටියෙ අපේ ගෙදරමයි. දැන් එයා නැති වෙලත් අවුරුදු කීපයක් වෙනවා” ඇඟට පතට නොදැනී වාගේ ‍ලේලි පිළිතුරු දුන්නා.

අනුර පැවැසූ ආකාරයට ඔහු කුඩා වියේ පටන් හැදී වැඩී තිබුණේ මෙම මිත්තණිය සමගයි. එයට හේතුව ඔහුගේ මවුපියන් දෙදෙනා එම විවාහ යෙන් වෙන්ව වෙනත් විවාහයක් කරගෙන තිබිමයි. අනුරව හදා වඩා ගනිමින් ඔහුට උගන්වා විවාහයක්ද කරදීමෙන් වසර ගණනකට පසු මිත්තණිය මියගියා.

“දවසක් පාන්දරක මම ඇස් දෙකෙන්ම දැක්කා ඩොක්ටර් මගෙ මැරිච්ච ආච්චි අපේ ගේ ඉස්සරහ ජනේලෙ ළඟට වෙලා ගේ දිහා බලන් ඉන්නවා. එදා රස්නෙ වැඩිකමට අපි ජනේල ඇරල සාලෙ නිදා ගත්තෙ. ඊට පස්සෙ මට කීප දවසක්ම ඇහුණ ආච්චි රෑට කෙඳිරි ගාන සද්දෙ. දැන් වරින්වරම මම එයාව ගේ වටේ ඉන්නවා දකිනවා” අනුර විස්තර කළා.

ඔවුන් පවසන පරිදි මිත්තණියගේ බැල්ම වැටෙන්නට පටන් ගත් පසු අනුර විවිධාකාර ලෙඩ රෝගවලින්ද පෙළෙන්නට පටන්ගෙන තිබුණා.

මතෛක් අසීරුවෙන් උපයා සපයාගෙන තිබූ මුදල් වැඩි කොටසක් වියදම් වී තිබුණේ එම ලෙඩ රෝගවලට ප්‍රතිකාර ගැනීමට සහ මිත්තණියගේ බැල්ම පලවාහරින්නට බලිතොවිල් ශාන්තිකර්ම කරන්නටයි. නමුත් කිසිදු ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. ආච්චිගේ බැල්ම වැටීම සේම අනුරගේ ලෙඩ තවමත් එහෙමමයි.

මනෝ වෛද්‍යවරයාට දැන් තවත් අතුරු ප්‍රශ්නයක් නැගී තිබුණා.
“ඔයා මත්පැන් එහෙම ගන්නවද?” වෛද්‍යවරයා තම ප්‍රශ්නය අනුරට ඉදිරිපත් කළා.

“ටිකක් ගන්නවා” අනුර මඳ පැකිලීමකින් පැවැසුවා. “ටිකක් කිව්වෙ?” වෛද්‍යවරයා නැවත ඇසුවා. “නෑ ඉතින් මං බිස්නස්නෙ කරන්නෙ ඩොක්ටර්. දවල්ට සමහර වෙලාවට වැඩිය වැඩක් නෑ. ඒ වෙලාවට ඉතින් කම්මැලිකම යන්න ගෙදර බෝතලයක් තියාගෙන ටික ටික ගන්නවා.

ඒත් වෙරිවෙලා උන්හිටි තැන් අමතක වෙන තරම් තත්ත්වෙකට නම් ඇවිත් නෑ” අනුර එසේ පැවැසුවා. දිගින් දිගටම මනෝ වෛද්‍යවරයා නැගූ ප්‍රශ්නවලට අනුර දුන් පිළිතුර අනුව හැඟී ගියේ ඔහු ඇතැම් දිනවලට උදේ සිට රෑ වනතුරු බොන මත්පැන් ප්‍රමාණය බෝතල් එකහමාරක් පමණ වන බවයි.

මේ අතර බිරිඳ කී තවත් කරුණකින් අනුරගේ රෝගී තත්ත්වය තහවුරු කර ගත හැකි හේතුවක් තවදුරටත් හෙළි වුණා. ඇය කීවේ මිත්තණිය සිය සැමියාව බිලි ගන්නට හදන බවය. “මෙයාට කසාදයක් කරල දුන්නට මොකද ඔය මනුස්සයට ඕන වුණේ මාවයි මෙයාවයි වෙන් කරන්නමයි.”
එම බිරිඳ අප්‍රසාදයෙන් යුතුව කීවා. වෛද්‍යවරයාට එය තවත් අලුත් තොරතුරක් වුණා.

“කොහොමද කියන්නෙ මැරිච්ච ආච්චි දැන් දෙන්නව වෙන් කරන්න හදනව කියල”

“මං මෙච්චර කාලෙකට කිසිම වැරදි වැඩක් කරපු කෙනෙක් නොවේ ඩොක්ටර්. ඒත් මෙයාට දැන් හැම තිස්සෙම මාව සැකයි. මං පිරිමියෙක් එක්ක කතා කළත් මෙයා මාව අනිවාරතේ සැක කරනවා. හැම තිස්සෙම දැන් අපි අතරෙ රණ්ඩු” ලලනි කියාගෙන ගියා. විශේෂඥ මනෝ වෛද්‍ය වරයාට දැන් සියල්ල පැහැදිලිය.

ඔවුන් විසින් පැවැසූ කරුණුවලට අනුව දිගු කලක් තිස්සේ මත්පැන් ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහුට විවිධ මානසික රෝග ලක්ෂණ පහළ වී තිබෙනවා. මියගිය මිත්තණිය දකින්නට ලැබිම යනු සැබෑවටම දැකීමක් නොව මත්පැන් දිගුකලක් ගැනීම නිසා හටගත් මනෝ භ්‍රාන්තයක්.

මෙය මායාවක් ලෙස නොව සැබෑවක් ලෙස සිතූ ඔහු මෙන්ම බිරිඳත් තීරණය කළේ මිත්තණිය තම නිවසට බැල්ම දාගෙන හිඳීමක් ලෙසයි. ඒ නිසා ඇති වූ බිය මතින් ඔහු දිවා කාලයට තවදුරටත් මත්පැන් ගැනීමට පටන් ගත්තා.

මත්පැන් ගැනීම වැඩි වෙනවාත් සමගම මනෝ භ්‍රාන්ති පෙනීමද වැඩි වුණා. මේ අතර ඔහුට මිත්තණිය කෙඳිරිලි හඬක් නගන අයුරුද ඇසෙන්නට වී තිබුණා. එය ශ්‍රව්‍ය භ්‍රාන්තියකි. මෙයද මත්පැන් වැඩි වැඩියෙන් ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවූවක්.

මේ අතර ඔහු කවදාවත් නැති අයුරින් නිරපරාදේ බිරිඳව සැක කරන්නට පටන් ගත්තේ එය ලිංගික ඊර්ෂ්‍යාව නම් මානසික ආබාධය නිසයි.

මත්පැන් දිගු කලක් තිස්සේ ගන්නා අයට වැළඳිය හැකි තවත් මානසික ආබාධයක් වන්නේ ලිංගික ඊර්ෂ්‍යාවයි. මේ අතර ඔහුට දියවැඩියාව සහ අධික රුධිර පීඩනය ද තිබිම නිසා තත්ත්වය තව නරක අතට හැරී කෑම අරුචිය ඇතුළු තවත් විවිධ කායික රෝග ලක්ෂණද පහළ වුණා.

ඒ අනුව බලි තොවිල් ශාන්තිකර්ම ආදියෙන් සුවයක් නොලැබුණු තැන ඔවුහු කායික වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වුණා. නමුත් මේ මානසික ආබාධවලට මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතුයි.

කායික වෛද්‍යවරයා විසින් ඔහු මනෝ වෛද්‍ය සායනයට යොමුකර තිබුණේ මේ තත්ත්වය අවබෝධකර ගෙනයි. ඉන්පසු මේ තැනැත්තා රෝහ‍ලේ වාට්ටුවේ නතර කරගෙන ඖෂධ සහ මනෝ චිකිත්සක ප්‍රතිකාරද ලබාදීමට සිදුවුණා.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...