ලොව ළාබාලම ඇමැතිවරිය බිහිකිරීමේ ගෞරවය ඉකුත් සතියේ පලස්තීනයට ලැබිණි. ඇය, බෂායෙර් ඔත්මන් ය. සිය 16 වැනි උපන් දිනය යෙදී තිබූ ඉකුත් බ්‍රහස්පතින්දා ම ඇය මේ තනතුරට පත්වීම තවත් විශේෂයකි. බටහිර ඉවුරේ පළාත් පාලන අමාත්‍යාංශයේ වගකීම් එක් දිනකට ඇය වෙත පැවරීමත් සමඟ මේ වාර්තාවට හිමිකම් කීමට ඇයට හැකිවිණි. මේ අන්දමින්ම ඇය ඉකුත් වසරේ දී ද දෙමසක කාලයක් පුරපතිනියක ලෙස ද වගකීම් සපුරා ඇත.
9000 ක ජනගහනයකින් යුතු අලාරි නගරයේ පුරපතිනිය ලෙස ඇය පත්වීම එදා ප්‍රධාන පුවතක් බවට පත්විය. පර්දාවෙන් මුහුණ ආවරණය නොකර සිටි ඇය විශාල මේසයක් ඉදිරිපිට අසුන්ගෙන දුරකතන ඇමතුමකට පිළිතුරු දෙන ඡායාරූපය විශාල මාධ්‍ය අවධානයක් දිනාගැනීමට සමත් විය.
මේ ඇමැති ධුරය පිළිබඳ යෝජනාව කර තිබුණේ ද ඇය විසින් ම වීම ද විශේෂ කාරණයකි. පළාත් පාලන ඇමැතිවරයා වන චහාබ් බෙසයිසෝ එදින ඇය නියෝජනය කරන ප්‍රදේශයේ චාරිකා කිරීමට නියමිතව තිබිණි. ඇය පුරපතිනියක ලෙස අත්දැකීම් ලබා ඇති බව ඔහු දැන සිටියේය.
“මං ඔහුට කිව්වා කළ නොහැකි දෙයක් නැති බව යොවුන් පරපුර දැනගත යුතුයි, මං කැමැතියි ඔබේ ඇමැති ධුරයේ වගකීම් දරන්නට (දවසකටවත්) කියලා. මගේ යෝජනාව ඔහු විමතියට පත්කළා වුණත්, ජාත්‍යන්තර තරුණ දිනය වෙනුවෙන් එය සැබෑවක් බවට පත්වුණා…” ඒ, ඔත්මන් තමන් ඇමැති පුටුවට පැමිණීමේ කතාව විස්තර කළ අන්දමයි. “පලස්තීනයේ තරුණ ජනයා දේශපාලන න්‍යාය පත්‍රයේ නිමිත්තක් බවට පත්වීමටත් මෙය හේතුවක් වේවි” යැයි ඇය කියන්නේ අපේක්ෂා සහගතවය.
එක් දිනකට වුණත් සියලු පලස්තීනුවන් වෙනුවෙන් තීරණ ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ වීමට ඇයට දැඩි ඕනෑකමක් තිබිණි. තරුණ ජනයාගේ හඬ නියෝජනය කිරීම ද ඇය තුළ තිබූ අපේක්ෂාවකි. මේ අරමුණු ඔස්සේ යමින් තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී යොවුන් පරපුර ද බලපෑම් සහගත කණ්ඩායමක් බව හැඟෙන පරිදි කවුන්සිලයක් පිහිටුවීමට ද ඇය මුල්විණි.
සිය යෝජනාව යොවුන් පරපුරට වඩා යහපත් අධ්‍යාපනයක් ලබාදීම උදෙසා දේශපාලන ක්ෂේත්රයේදී බලාත්මක වනු ඇත යන සිහිනය ඇයට තිබේ. කෙසේ වෙතත් මෙය තමාගේ අද දවසේ ඉලක්කයක් බව ඇය කියයි. “මෙය අනාගත ඉලක්ක ඇතිව කරන වැඩක් නෙවෙයි, මං දන්නෙ නෑ මං මොනවද ඉගෙන ගන්න ඕන කියලා…”
තමන් වෙත එක් දිනකට හෝ ලැබුණු වරම උපයෝගී කරගනිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලිපියක් යොමුකිරීම ද ඇය තුළ තිබූ තවත් අපේක්ෂාවකි. අල් බයිරා නගරයේ වැසියන් මුහුණ දී සිටින ඉඩම් ප්‍රශ්නයට මැදිහත්වන ලෙස එමගින් ඇය ඉල්ලා තිබේ. සිය නිවාස ඉදිරිපිටදීම ඊශ්‍රායල් හමුදාවේ බලහත්කාරකම්වලට මුහුණ දීමට අල්ඛයිරා හි වැසියන්ට සිදුව ඇති බව ඇය පෙන්වා දෙයි.
“නගරයේ කැළිකසළ තමන්ගේ ගේ – දොර ආසන්නයේම පුළුස්සා දමන්න මේ මිනිසුන්ට සිදුවෙලා. ඒක ඔවුන්ගේ සෞඛ්‍යයට වගේම පරිසරයටත් තර්ජනයක්. මං එක්සත් ජාතීන්ගෙන් ඉල්ලන්නෙ මේ ඉඩම යළි විවෘත කර දීම සඳහා මැදිහත් වෙන්න කියලා… මේ ඉඩම නැවතත් ඒ සඳහා ගන්න බැරි නම් විකල්පයක් හෝ සොයා දෙන්න කියලා…”
ඇය පුරපති ධුරයේ වගකීම් දැරූ කාලසීමාව තුළ තරුණ ප්‍රජාව බලගැන්වීම පිළිබඳ පර්යේෂණාත්මක වැඩ කොටසක් ඉටුකර ඇත. නගර පරිපාලනයට අදාළව සේවක සේවිකාවන් අධීක්ෂණය කිරීමේ පටන් නිල ලිපි ලේඛනවලට අස්සන් තැබීම දක්වා ඇය පළපුරුද්දක් ලබා තිබේ.
කෙසේ වෙතත් මූල්‍යමය කාරණා ඊට අදාළ නැත. ඇය මේ ධුරයේ වගකීම් ඉටුකළේ මහජන ඡන්දයෙන් පත්වූ පුරපති සුෆියාන් ෂාදිද්ගේ අධීක්ෂණය යටතේයි. පුරපතිවරයාට අනුව බෂායෙර් ඔත්මන්ගේ භූමිකාව කාන්තා පරපුරේ සහභාගිත්වය වඩාත් සක්‍රීය ලෙස දේශපාලනයට ලබාගැනීම සඳහා මෙන්ම තරුණ ප්‍රජාව බලගැන්වීමට ද හේතු වනු ඇත.
ඔත්මන් ලොව ළාබාලම ඇමතිවරිය ලෙස පසුගියදා තැබූ වාර්තාවට අමතරව ඊට පෙර පුරපති ධුරයේ වගකීම් දැරීම නිසා ලෝකයේ ළාබාලම පුරපතිනිය ලෙස ද වාර්තාවක් තබා තිබේ. ඒ වන විට ඇය 15 හැවිරිදි වියේ පසුවිණි. පුරපති ධුරයේ වගකීම් භාරගනිමින් ඇය ප්‍රකාශ කර තිබුණේ සිය අත්දැකීම් සෙසු තරුණ ප්රජාවත් සමඟ බෙදා හදා ගැනීමට තමාට අවශ්‍ය බවයි.
“මේ අත්දැකීම් සෙසු යෞවන යෞවනියන් එක්ක බෙදාගන්න මං කැමැතියි. එමගින් අනාගතයේදී රාජ්‍ය ආයතනවල වගකීම් දැරීමේ හැකියාව තමන්ටත් ඇති බව, ඒ සඳහා සූදානම් විය යුතු බවට ඔවුන් තුළ පෙළඹවීමක් ඇති කරනවා…” තුල්කාම් හි පුරපති සුෆියාන් සාදිද් පවසන පරිදි තරුණ පරපුරට මූල්‍යමය අංශයෙන් පමණක් නොව තවත් බොහෝ ආකාරවලින් උපකාරී වීමේ හැකියාව ඇත.
“තරුණ පරපුරට උපකාර කිරීමේදී මූල්‍යමය දේවල්වලට වඩා තවත් බොහෝ දේවල් කළ හැකියි. එහිදී, පළමුවෙන්ම ඔවුන් යන මාවතේ ඇති බාධක අප ඉවත් කළ යුතුයි. ඒ සඳහා නොපසුබට වීර්යයකින් යුතුව අප වැඩ කළ යුතුයි…” සුෆියාන් පෙන්වා දෙන කාරණය කොපමණ ප්‍රායෝගිකදැයි බෂායෙර් ඔත්මන් ගේ භූමිකාව විසින් සනාථ කරනු ලැබ තිබේ.
ධම්මික සෙනෙවිරත්න
(samakaya)