පරමාණු බෝම්බය හෙලූ මිනිසා මියයයි

දෙවැනි ලෝක යුද්ධයේ අවසානය සනිටුහන් කරමින් ජපානයට පරමාණු බෝම්බය හෙලූ යානයේ කාර්ය මණ්ඩලයේ ඉතිරිව සිටි එකම පුද්ගලයා පසුගිය සඳුදා ජෝර්ජියාවේ දී මියගියේය.

10456009_752407531472502_4763077973568323003_n

තියඩෝර් ඩච් වෑන් කික් නම් මොහු මිය යනවිට වයස අවුරුදු 93ක් විය. අදින් 69 වසරකට පෙර අගෝස්තුමාසයේ හයවැනිදා ජපානයේ හිරෝෂිමා නගරයට පතිත කළ ‘ලිට්ල් බෝයි‘ නම් පරමාණු බෝම්බයෙන් 140,000ට ආසන්න පිරිසක් මියගියහ. ඔවුන් මේ බෝම්බය හෙළීමට භාවිතා කරන ලද්දේ ඇමරිකාවේ ‘එනෝලා ගේ‘ නමැති බී-29 වර්ගයේ සුපර්ෆෝට්‍රස් යානයකි.
පරමාණු බෝම්බය හෙළීමට පෙර ඔහු බ්‍රිතාන්‍යයට එරෙහි මෙහෙයුම් 15කට උතුරු අප්‍රිකාවට එරෙහි මෙහෙයුම් 10කට ද සහභාගී වී ඇති අතර ඒ සෑම අවස්ථාවකදී ම බෝම්බ පතිතකැර තිබේ.

පසුකළෙක ඔහු පරමාණු බෝම්බය හෙළීමේ සිද්ධිය ගැන මෙසේ කීවේය.
‘‘ බෝම්බය හෙලූ පසු අපට දැකගන්නට හැකිවුණේ නගරයට ඉහළින් පහත්වුණු සුදු වළාකුළක් වැනි දෙයක්. ඊට පහළින් දුහුවිලි හා අළු වලින් වටවුණු නගරයේ ඡායාවක් දක්නට ලැබුණා. එය උතුරන තෙල් හැළියක් ලෙසින් පෙණුනා. “
ඔහු පවසා ඇත්තේ බෝම්බය හෙලූ අවස්ථාවේ තමන්ට මුලින් ම සිතුනේ ‘දෙවියනි මට සතුටුයි, එය සාර්ථකයි‘ යනුවෙන් බවයි. දෙවනුව ඔහුට සිතී ඇත්තේ. ‘යුද්ධය අවසානයි, ඒක ඉතාමත් හොඳයි‘ යනුවෙනි. කෙසේ වෙතත් ඉන් දින කිහිපයකට පසු ජපානයේ නාගසාකි නගරයට තවත් පරමාණු බෝම්බයක් හෙළන ලදී. එයට ඩච් ගේ සම්බන්ධයක් තිබුණේ නැත.
සිය පියාගේ මරණයෙන් පසු ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළ තියඩෝර් ඩච් ගේ පුතු ටොම් වෑන් කුක් පවසා සිටියේ හිරෝෂිමා මෙහෙයුම සම්බන්ධයෙන් සිය පියාගේ සිතේ කිසිදු කණගාටුවක් නොවූ බවයි.

දෙවැනි ලෝක යුද්ධය නිමාවීමෙන් පසු හමුදාව හැරගිය තියඩෝර් ඩච් රසායනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් සම්පූර්ණ කළේය. ඉන්පසු 1985 දී විශ්‍රාම යනතුරු ඇමෙරිකාවේ රසායනික සමාගමක් වූ ‘ඩියුපොයින්ට්‘ හි සේවය කළේය.
විවාහයෙන් පසු දරුවන් සතර දෙනකුගේ පියකු වූ තියඩෝර් ඩච් මියයන විට මුණුපුරු මිනිපිරියන් හත් දෙනකු හා මී මුනුපුරන් තුන් දෙනකුගේ සීයා වී සිටියේය.
ඔහු සිය අවසන් කාලය ගත කළේ තම වැඩිමහල් දියණිය විසූ ජෝර්ජියාවේ ය. ඩච්ගේ දරුවන් පවසන්නේ සිය පියාගේ අවසන් කටයුතු ඔහු උපතලද මධ්‍යම පෙන්සල්වේනියාවේ නොදම්බ්‍රන්ඩ්හි සිදුකරන බවයි. ඔහුගේ බිරිඳගේ සොහොන අසළින්ම මිහිදන් කිරීමට නියමිතය.

‘‘කවුරුන් කුමක් කීවත්, මගේ තාත්තා උතුම් පුද්ගලයෙක්“ පුතු ටොම් එසේ කියයි.

වේරගොඩගේ සජිව විජේවීර

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...