මේක බොහෝම බර වචනයක් වගේ බැලූ බැල්මට ඔබට පෙනේවි. ලියන විදිය බරසාර වුනාට, හරිම සැහැල්ලු, ලේසියෙං ක්‍රියාත්මක කරවන්න පුළුවං වචනයක්. හැබැයි ලෝකේ හරියාකාරව දුවන්න නම්, තියෙන්නම ඕන වචනයක් තමා මේක. ඉංග්‍රිසියෙන් “Gratitude” කිව්වොත් ඕකට හරිම තේරුම. මොකද්ද හැබැටම මේ කෘතඥතාවය කියන්නේ. කෝමද මේක ලෝකෙට වටින්නේ. අද කතා කරමු ඒ ගැන.
කෙටියෙන්ම කීවොත් මේකේ තේරුම තමයි තමන්ට ලැබුණු යම් දෙයක් හෝ වරප්‍රසාදයක් වෙනුවෙන් පොඩි හරි ස්තුතියක් පලකිරීම, එහෙම නැත්නම් ඒකට කළගුණ සැලකීමක් ලෙස පෙරලා යමක් කිරීම හැටියට ගන්න පුලුවනි. ඕකට හොඳම නිදසුන, මං බුද්ධාගං කාරයෙක් හැටියට මතක් වෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ තමාට බුදුවීමට පිට/ සෙවණ දීපු ඇසතු ගහ දිහා සතියක්ම අනිමිසලෝචන පූජාව සිදුකලා. එපමණක් නෙවේ, මුලින්ම ධර්මය දේශනා කළෙත් උන්වහන්සේට දුෂ්කර ක්‍රියාකරන සමයේ උදවු කල පස්වග මහණුන්ට. පොඩි පහේ කළගුණ සැලකීමක් නෙවෙයි, අනිවරත සංසාරෙං එගොඩකරවලමයි නැවැතුනේ. ඔය ආකාරයට අනිකුත් ශාස්තෘවරුනුත් එහෙම කෘතඥතාවය ප්‍රායෝගිකවම සිදුකල වග මං අහලා තීනෝ. නමුත් වැඩේ කියන්නෙ අද වෙනකොට අලුත් ජෙන් එකේ නැත්තටම නැතිවේගෙන යන ගුණාංගයක් බවට මේක පත්වෙලා තීන නිසයි, මේක ගැන ලියන්න හිතුනේ.
පසුගිය දවසේ අප අතරින් සදහටම සමුගත් සිනමා රැජින මාලිනී ෆොන්සේකා මහත්මියත්, ඒ වගේම ඊට මාස කීපෙකට කලින් අප අතරින් වෙන්වුන ප්‍රියා සූරියසේන මහත්මයත්, ජීවත්වෙලා ඉන්න කාලෙම තමා විසින් කලා ලෝකයට කල මෙහෙවරට ඇගයීමට පාත්‍ර වුනා. 1980 දශකයටත් පෙර, ගුවන්විදුලියත්, සිනමාවත් පමණක් රසවින්දන මාධ්‍ය ලෙස තිබුණු කාලයේ, ඒ අය පොදු සමාජයේ රසවින්දනය උද්දීපනය කරන්න, කල මෙහෙවර අනුපමේයයි. ඔවුනට ලැබුණ ඒ කෘතඥතාවය ඒගොල්ලන්ට කොච්චර වටිනවා ඇත්ද කියන එක, ඒ ගැන පලවුන වීඩියෝ දැකපු ඔබ කවුරුත් දකින්න ඇති. දෙන්නම අති සංවේදී වුනා කිව්වොත් නිවැරදි. ඒක තමා කෙනෙකුට ජීවත්වෙලා ඉන්න කොට ලැබෙන ලොකුම සතුට, මාලිනියගේ වචන වලින්ම කිවිවොත් ඒක “කෝටියක් වටිනවා”
නමුත් මාලනී මහත්මියලා වගේ තරු නොවුනට මේ සමාජ ක්‍රමයේ චිර පැවැත්ම උදෙසා තමන්ගේ ජීවිත කාලෙම කැප කරපු, ඒත් වචනයකිං වත් කෘතඥතාවය නොලබපු මිනිස්සු කොච්චර නං මේ ලෝකේ ඇතිද. ඔයා මේ ලියමන කියවනව නං ඔයාගේ ඇස් පේනවා, ඒ වගේම කියවන්න පුලුවං හැකියාව ලැබිලා තියෙනවා. අංක එකටම අපේ කෘතඥතාවය හිමිවෙන්න ඕන දෙපිරිස තමයි දෙමව්පියන් හා ගුරුවරුන් කියන්නේ. ඒ නිසා ඒ අයට කෘතඥතාවය දැක්වීම ඔබේ යුතුකමක් නෙවේ, වගකීමක් වග මතකේ තියාගන්න. ඊට අමතරව විනාඩියක් කල්පනා කරලා බැලුවොත් ඔයා අද ඉන්න එන්න තැනට එන්න අබ ඇටේකිං උදවු කල අයගේ ලැයිස්තුවක් ලිව්වොත් ඔට්ටුයි ඔයාට අඩුම ගානේ පැය හතර පහක් යයි. ඒත් එක්කම, ඒ ඉස්සරහිං අපි ඒ අයට අන්තිමටම කතාකල දවස, එහෙම නැත්තං හම්බුන දවස ලියන්න කීවොත් ඔය ලේඛනයේ 90% කට වඩා ඉස්සරහිං ලියන්න වෙන්නේ අවු 5කට පෙර කියලා. නේද.. ඒක තමා ඇත්ත. අපි බහුතරයකට කාලෙත් එක්ක, ඒ වගේම වැඩත් එක්ක ඒ අය අමතක වෙලා. නමුත් සමහර වෙලාවට ඒ අය කරපු චූටිම උදව්වක් ඔයාගේ ජීවිතේ ලොකුම වෙනසක් කරලා ඇති. ඒකට කියන්නේ “Tiny changes, Remarkable results” කියලා.
නිකමට කල්පනා කරලා බලන්න, ඒ අයගෙං සමහරක් මේ වෙනකොට ජීවතුං අතර නැතුවත් ඇති. සමහර වෙලාවට මේ වෙද්දිං අසනීප වෙලා ඇඳක් උඩ වෙන්න ඇති. තව කෙනෙක් හොඳටම වයසට ගිහිං,පාලුවෙං තනිකමෙං අරමුණක් නැතුව ඉන්නවා වෙන්නත් පුලුවං. ජීවතුං අතර නැති අය ගැන නම් කරන්න දෙයක් ඔබට නෑ, මොකද ඔබ සෘද්ධිමතෙක් නොවන නිසා. හැබැයි ජීවත්වෙලා ඉන්න ඒ අයට ඔබට කෘතඥතාවය දක්වන්න කල හැකි දේ ගොඩක් තීනවා.
ඔබට උදවු කල සමහරෙක් ඇත්තටම ජීවත්වෙලා ඉන්න පුලුවං ඔයා එදිනෙදා යන එන පාරෙම. හැබැයි ඔයාට ඒ ගෙදරට කාලෙකිං ගොඩවෙන්න බැරිවුනා, ඇයි කියලා ඇහුවොත් ඔබ කියයි, මට වෙලාවක් තිබුණේ නෑ කියලා. හැබැයි ඇත්තටම ගත්තොත් ඒකට ගොඩක් වෙලාවට යන්නේ මිනිත්තු 60 කටත් වඩා අඩු කාලයක්. නමුත් සමහර විට එයා ඒ කාලේ ඔයා වෙනුවෙන් කැප කරපු කාලේ මේ වගේ දස ගුණයක්, ඊටත් වැඩිවෙන්න පුලුවං. ඔයාගේ ජීවිතේට දීපු අගය මුදලින් මනින්න බැරිවෙන්නත් පුලුවං. මතක තියාගන්න, ඔයා වැය කරන ඒ මිනිත්තු 60 ට ඔයාට පුළුවං, එයාට තව අවුරුදු ගාණකට ජීවත්වෙන්න ස්පිරිට් එකක්, උද්යෝගයක් දෙන්න. කෙනෙක් කියයි මට යන්න නං පුලුවං, හැබැයි ගෙනියන්න දෙයක් ගන්න සල්ලි නෑනේ කියලා. මං හිතන්නේ, ඒක ලොකුවට හිතන්න ඕන දෙයක් නෙවි. පොඩි බිස්කට් පැකට් එකක්, නැත්නම් පාං ගෙඩියක් (එයාගේ සෞඛ්‍ය තත්වය අනුව), නැත්නම් පොඩි ෂෝටිස් කිපයක්, ඒ හොඳටෝම ඇති, බැරිම නං හිස් අතිං ගියත් ඒකේ කිසිම ප්‍රශ්නයක් නෑ, මොකද ඔයා එයාට ගෙන යන සතුට තමයි ලොකුම තෑග්ග. ගොඩක් මිනිස්සුන්ට එයා අමතක වෙලා කියලා එයාට තේරෙද්දි, ඔයාට, එයාව අමතක නෑ කියන එක තමයි ලොකුම වැලියු ඇඩිෂන් එක. අනිත් තෑගි සේරම යටයි ඒකට. එයාට විතරක් නෙවි, ඔයාට කොච්චර සතුටක් දැනේද කියලා ගිහිල්ලම බලන්න. මං ඒ වැඩේ කරලා තිනවා, කීප දෙනෙකුටම. එක උදාහරණයක් කියන්නම්. අපේ දරුවා පොඩි කාලේ බලාගන්න ආවා බලගොඩ බියට්‍රිස් කියලා ඇන්ටි කෙනෙක්. දවසක් මට ආරංචි වුනා එයාගේ මහත්මයා බඩවැල් වල පිළිකාවකින් රෝගාතූර වෙලා ඉන්න වග. කලිනුත් එහේ ගිහිපු වතා කීපයකදිම එයා හම්බෙලා හිතවත්ව කතාකරලා තීන නිසාත්, ඒ ඇන්ටි අපේ දරුවාව හොඳින් බලාගත්ත නිසාත්, මට හිතුණා එයාව බලන්න ගියොත් හොඳයි කියලා. නිකමට වගේ මට හිතුණා, රුවන්වැලි මහා සෑයේයි, ජය සිරි මහා බෝධියෙයි කලර් පොටෝ 2 කුත් අරන් යන්න ඕනි කියලා. මං අපේ ගෙවල් ගාව තීන මාස්ටර් කොමියුනිකේෂන් එකේ මල්ලිට කිව්වාම, ඌ ඒක නියමෙට ෂයින් කොලේක ප්‍රින්ට් කරලා ලැමිනේට් කරලාම දුන්න ටිප් ටොප් එකට. මං යනකොට එයා ඇඳේ, ඉතිං මං ඇඳ ගාවට ගියා. මිනිහට හරිම සතුටුයි, මාව දැකලා ඇඬුනා, “කොහොමද ආරංචි වුනේ, මහත්තයාට වැඩ ඇති නේ, මොකටද ආවේ වැඩ පාඩු කරං” කියල එයා අහනවා. මං කිව්වා, මොන වැඩක්දැයි, ඔයාගේ නෝනා කොච්චර අපිට ඒ කාලේ උදවු කලා දැයි, ඒක නිසා ඒක ඒ හැටි දෙයක් නෙවිය කියලා. මාව ලඟින්ම වාඩි කරන් පැයක් විතර කතා කලා පරණ තොරතුරු. ඉස්සර එයයි නෝනයි දෙන්නම අනුරාධපුරේ යනවලු ගොයං කපන කාලෙට කුලියට ගොයං කපන්න. තැන තැන නැවැතිලා මාස 2 කිං විතරලු ආයේ එන්නේ සල්ලිත් අරං. ඉතිං මං ඇහුවා රුවන්වැලි සෑය, ජය සිරිමහ බෝධිය එහෙම වන්දනාකරන් තියෙද කියලා. “මොකද නැතුව, මං කීප වංගියක්ම එහෙ ගිහින් තියෙනවා”කියලා එයා කිව්වා. මං එතකොට අර පොටෝ 2 ක එයාට දුන්නා. දෝතින්ම ඒක අරං, ගොඩාක් ආසාවෙං ඒ දිහා බලං හිටිය ටික වෙලාවක්. ඊට පස්සෙ, ඒක උකුළ උඩින් තියලා, අත් දෙක එකතු කරලා වන්දනා කලා. මං දැක්ක මිනිහගේ ඇස් දෙක දිලිසෙනවා. විඩාපත් වෙලා තිබුණ ඒ මූණට දීප්තියක් එනවා. මං කිව්වා, නිතරම මේ රූප දිහා බලලා, ඒ ගිහිපු ගමං මතක් කරගන්නෙයි කියලා, ඒ වගේම බලගොඩ මහ පංසලට, පුංචි පංසලට දුන්න පේරු දාන එහෙම මතක් කරගන්නෙයි කියලා. ඒම කියනකොට එයා අත්දෙක එකතු කරලා හයියෙං “සාදු සාදු” කිව්ව වග මතකයි. මම යන්න හදනකොට ඇස්වල කඳුළු පුරවගෙන “ආයේ කවද්ද එන්නේ මං බලන්න. වැඩ නං කරදර වෙන්න එපා මහත්තයා” කියලා කිව්වා. මං කිව්වා ලබන සතියේ එන්නම් කියලා. කිව්ව විදියටම ඊළඟ සතියේ මට එහේ යන්න වුනා. හැබැයි එයා පණ පිටිං දකින්න නෙමේ. බියට්‍රිස් ඇන්ටි මට අඬ අඬා කිව්වා මං අර පොටෝ දෙක දීපු දවසේ ඉඳන් එයා ඒ දෙක අතේ තියං ඒ දිහා බලන් ඉන්නවලු ගොඩක්වෙලා. පණ යනකොටත් එයාගේ අත්දෙකේ අර පොටෝ දෙක තිබුණලු. ඉතිං මට දුකත් එක්කම මාර සතුටකුත් ආවා, එයා යහපත් සිතින් මැරුණනං හොඳ තැනකට යන්න ඇතිය කියලා. ඒක එක කතාවක් විතරයි, කියනවා නං ඕන තරං සංවේදී කතා තියෙයි, ලියන්න ඉඩ මදිවා මිසක්.
මට මතක් වෙනවා පොල් මණ්ඩලේ මම වැඩ කරපු කාලේ මට හමුවුණු පරණ බොස් කෙනෙක් වුන සොයිසා මහත්තයා කියපු කතාවක්. එයා කිව්වා එයා පෙන්ෂන් ගියායිං පස්සේ එයාට ලොකු ටෙන්ෂන් එකක් ආවාලු ඉස්සර ආපු කෝල් ගාන එන්න එන්න අඩුවෙනකොට, උදේ නැගිටලා කරන්න කියලා විශේෂ දෙයක් නැතිවුනාම. ඒක කොච්චර තදින් බලපෑවද කිව්වොත් එයා උදේ නැගිටලා ඔෆිස් යන්න ඇඳුනුත් අඳිනවලු. සපත්තු මේසුත් දාගන්වලු. පස්සේ කල්පනා වෙනවලු දැං පෙන්ෂන් නිසා කොහේ යන්නද කියලා. රැකියාවක්ම කර කර හිටිය, වතු පිටි වල වැඩ එහෙම නැති කෙනෙක්ට ඒක මාර අවුලක්. දවල්ට කරන්න දෙයක්, ආශ්‍රය කරන්න සමාජයක් නෑනේ. දැං ඔයාට පෝන් එක කරදරයක් වෙලාවකට, එන කෝල් වලට උත්තර දීලම. හැබැයි නිකමට හිතලා බලන්න, අඩුම තරමෙං තමන්ට දවසකට එක කෝල් එකක් වත් එන්නෙ නැත්නං, එක වට්ස් අප් මැසේජ් එකක් වත් එන් නැත්නම්, මැසෙන්ජර් ඉන්බොක්ස් හිස් නම්, ඉන්ස්ටගෑම්, ඇතුළු අනෙකුත් ඒවාට මැසේජ් නැත්නං ඔයාට කොච්චර දුකක් දැනේද කියලා. එතකොට තමන් මේ සමාජෙට වැඩකට නැති කෙනෙක් කියන හැඟීම එනවා. අද වෙද්දිං ලොකුම ගැටලුවක් තමයි වැඩිහිටියන්ට ඇතිවෙලා තියෙන ඩිමෙන්ෂියා තත්වය. ඒකට ප්‍රධාන හේතුවක් තමා මම අර කලින් කිව්ව කාන්සිය. සමහර වැඩිහිටියන් සියදිවි නසා ගැනීමට පවා යොමු වෙලා තීනවා, ඔය ස්ට්‍රෙස් එකෙං බෙිරෙන්න.
මගේ ජීවිතෙත් මට මේ ඉන්න තැනට එන්න උදව් කල අප්‍රමාණ පිරිසක් ඉන්නවා. මගේ ජීවිත කාලේ ඒ හැමෝම හම්බෙන්න යන්න වෙලාව නං නැතිවෙයි. ඒ නිසා මං නිතරම උත්සාහ ගන්නවා ඉඩක් තියෙන වෙලාවට එහෙම අයට දුරකථන ඇමතුමක් හරි ගන්න. මගේ ලැයිස්තුවේ ගොඩක් වෙලාවට මම ප්‍රමුඛතාවය දෙන්නේ විශ්‍රාමික හෝ වැඩිහිට අයට. මක් නිසාද, අර කලින් කී හේතුව. පාලුවෙං තනිකමෙං ඉන්න බොහෝ අයට ඒ කෝල් එක මීවිතක් වගේ. සමහරු පෝන් එක තියන්න ලෝබයි. ආයේ කවද්ද ගන්නෙ කියලත් අහනවා සමහරු. ඒ කතා බොහෝමයක් දුරකථනයේ විනාඩි 60 ක් ඉක්මවලා තමයි ඉවරවෙන්නේ. මම ඉතිං ගොඩක් අයට මතක් කරලා දෙනවා ඒ අය මට කරපු උදවු, ඒ වගේම ඒ අය කාර්යාලවලට/ සමාජයට කරපු සේවය, ඒවායින් ප්‍රතිලාභ ලබපු සමහර අය අද ඉන්න තැං ඒම කිව්වාම, ගොඩක් අයට හරි සතුටුයි. අනේ අපි ඇත්තටම කොච්චර වැඩක් කරලා තීනවද කියලා එතකොට ඒ අයට මතක් වෙනවා. සමහර අසනීප වෙලා ඇඳෙන් බහින්න බැරි අයට ඒම ඔය කතාකීවාම ඒ අය අඬනවා, “අනේ මට මං ගැනම හරි සතුටුයි ඒ කාලේ කරපුව ගැන, දැං නං ඉතිං මගේ වැඩවත් මට තනියෙං කරගන්න බැරිය” කියලා. මේකට උපදේශනයෙදි කියන්නේ positive reassurance කියලා. මැරෙන මොහොතක මේවගේ හොඳ දෙයක් මතක් වුනොත් කාට කාටත් තම තමන්ගේ ආගමට අනුව හොඳ තැනකට යන්න පුලුවං වේවි.
තවත් පොඩි කතාවක් කියන්නං, මං මුලින්ම පස්ගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලේ ලිපිකරුවෙක් විදියට වැඩ කරන්න ගියාම, මට ගොනු කවරයක් හදන්න ලේස් එක දාන තැන ඉඳන් උදවුකල මිස්ගෙ නොම්මරේ හොයන් දවසක් කතාකලා. ආගිය තොරතුරු කතාකරලා මම අද ඉන්න තැන, පෞද්ගලික තොරතුරු එහෙම අහලා බොහෝම සතුටු වුනා. මං එයාටත් මතක් කරලා දුන්නා අලුතෙන් ආපු අපි හතර දෙනෙකුටම අම්ම කෙනෙක් වගේ එයා කියා දීපු දේවල්, ගොනු කවර හදන එක විතරක් නෙවේ මුලින්ම මට බැංකු ගිණුමක් ඌරුබොක්ක මහජන බැංකුවේ දාන්න උදවු කල එකේ ඉඳන් අලුතෙන් ආපු අපට රාජ්‍ය සේවයේ කියා දීපු පාඩම්, ඒවා අදටත් අපිට හරි වටිනවාය ආදිය කියලා. ඒම කියනකොට එයාට හයියෙං ඇඬුනා. මම ඉතිං හිත හැදුව “අඬන්න එපා මිස් ඉතිං කොච්චර සතුටු වෙන්න ඕනිදැයි මිස් කරපු දේවලට” කියලා. කොහොම හරි කතාව ඉවර කරන්න කලින් කෝල් එක කට් වුනා. ආයේ ගත්තට එයාගේ පෝන් එක ඔෆ්වෙලා වෙන්නැති, සම්බන්ධ කරගන්න බැරිවුනා. දවස් 4කිං විතර ආරංචි වුනා හදිසියේම ඒ මිස් හෘද්‍යාබාධයකිං මිය ගියාය කියලා. ඉතිං බලන්න එදා කතා නොකලා නං ආයේ කවදාවත්ම මට එයත් එක්කකතාකරන්න බැරිවෙයි. මගේ කෘතඥතාවය මම එයාට දුන්නා, මට පුලුවං විදියට.
පුලුවං නං හදාගන්න, ඔයාට මේ වෙද්දි විවිධාකාරයෙං උපකාර කරපු, ඔය තැනට එන්න සුළු හරි අතදීමක් කල අයගේ පොඩි ලිස්ට් එකක්. හැමෝම හම්බෙන්න යන්න බැරිවෙයි, පුළුවං අයව ඉඩ තීන වෙලාවට බලන්න යන්න. එහෙම බැරි අයට, දුරකථන ඇමතුමක් එහෙමත් නැත්නං සමාජ මාධ්‍යයෙං හරි පොඩි පණිවිඩයක් තියන්න. ඔය වැඩි හිටි අය ගොඩක් දැං සමාජ මාධ්‍ය වල ඉන්නවා. ඒ අයට friends ලා අඩුයි. ඒ අය ෂෙයා කරන ඒවට කමෙන්ට් දාන අය ඉතා අඩුයි. ඒවා දැක්කම අහක බලාගෙන යන්නැතුව පොඩි කමෙන්ට් එකක් දාන්න, වචන කීපෙකිං හරි, එයාට සතුටු හිතෙන විදියට. දන්නවද, එයාට ලොකු සතුටක් වේවි ඒක. ජීවත්වෙන්න අරමුණක් වේවි. එයා දාන ඒව කියවන්නත්, රියැක්ට් කරන්නත් අය ඉන්නවාය කියලා. ඒ අයගේ උපන්දිනයක් ඒම දැක්කොත් අනිවාර්යයෙන්ම සුබ පැතුමක්, වොයිස් මැසේජ් එකක් දාන්න අමතක කරන්නෙපා, තත්පර ගාණක වැඩක්. හැබැයි එයාට ඒක මහමෙරක්..
අද මේ ටික ලිව්වේ මම දන්නවා ඔයාගේ හිතෙත් ඔයාට උදවු කල අය ගැන ලොකු ගෞරවයක් ඇති. ඒ වුනාට ඒ අයට ඒක දැන ගන්න විදියක් නැත්නම් ඒ කෘතඥතාවයෙං ඇති වැඩක් නෑ. මැරුණාම මළ ගෙදර ගිහිං ආචාර කළාට එයාට ඒක පේන්නේ නෑ. දැනෙන්නෙත් නෑ. ඒ නිසා පණ තීන කං තමයි හැමදේම කරන්න ඕන.
තමන්ට උදවු කල අය හැම තිස්සෙම මතකෙ තියා ගන්න. ඒ අයට ස්තුති කරන්න, අඩුම ගානේ වචනෙකිං හරි.ඒ අයට ඒක ලොකු අස්වැසිල්ලක් , සතුටක් වේවි. ඒ වගේම ඔයාටත් කවදා හරි පෙරළා ඒකම ලැබනවාමයි. ආගම පැත්තකිං තියමුකෝ. විද්‍යාවෙං ගනිමුකෝ. නිව්ටන්ගේ වචන වලිං කිව්වොත් “Every action, has a reaction”. “සෑම ක්‍රියාවකටම ඒ හා සමාන ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් ඇත”. ඕකටම අපේ පරණ අය කිව්වෙ වැපිරව දේලු, අස්වැන්න විදියට ලැබෙන්නෙ. තල වැපිරුවොත් තල. මුං වැපිරුවොත් මුං.
හමුවෙමු නැවත….
✍️ නිලන්ත කලංසූරිය ෴…